"සෙකියුලර්" උවමනා ඇයි?

  • සෙකියුලරිසම් හෙවත් ඓහිකත්වය යන මාතෘකාව ගැන සිංහල බසින් තරමක් දුරට හෝ සාකචඡා වීම ආරමභ වී එතරමි කලක් නොමැත. රාජ්‍ය, පරිපාලන, නෛතික සහ වෙනත් පොදු කටයුතු කෙරෙහි ආගඉක, සංස්කෘතික වශයෙන් හෝ වෙනත් පුද්ගල බද්ධ ආකල්ප මත පදනම් වූ බලපෑමි සිදු නොවිය යුතුය යන අදහස දැරූ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ දේශපාලන, නීතිමය, සාහිත්‍ය, විද්‍යා අංශ වල බොහෝ කාලයක පටන් සිටියහ. ඒ සම්බන්ධව විවිධ නිශ්චිත කාරණා වලදී හෝ පොදුවේ ඔවුන් විසින් බොහෝ අදහස් දැක්වීම් සිදු වූ නමුත් "සෙකියුලර්" හෝ "ඓහික" යන වචනය විශේෂිතව භාවිතා වූ අවස්ථා අල්ප ය. එහෙත් පසුගිය මාස කිහිපය තුළ අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ඓහිකත්වය පිළිබඳව යම් පමණකින් හෝ පුළුල් කතාබහක් ඇතිවූහයි සිතමි. එහිදී විවිධ අදහස් වලින් හෙබි බොහෝ දෙනෙකු විසින් නගන ලද ගැටළු අතර එක් ප්‍රධාන තැනක් ගත්තකි "ශ්‍රී ලංකාව 'සෙකියුලර් කල යුත්තේ' ඇයි?" යන්න.

     

    ඓහිකත්වය හෙවත් සෙකියුලරිසම් යනු කුමක් දැයි පෙර ලිපි වලින් ප්‍රමාණවත් පරිදි විස්තර වන්නට ඇතැයි සිතන හෙයින් මෙම ලිපියෙන් එහි උපයෝගීතාව පිළිබඳ කරුණු දක්වන්නට උත්සාහ කරන්නම්. ඊට පෙර කිසියම් වස්තුවක්, නිර්මාණයක්, අදහසක් සමාජයකට අවශ්‍ය වන්නේ ඇයි යන්න තීරණය කිරීමේ සාධාරණ පිළිවෙල යයි මා හට හැඟී යන පිළිවෙල ගැන විස්තර කරන්නට අදහස් කරමි.

     

    "අප හට ජංගම දුරකථන අවශ්‍ය ද?" යන ගැටළුවට සාධාරණ පිළිතුරක්/පිළිතුරු ලබා දෙන්නේ කෙසේ ද? "මගේ පෙම්වතියට ඇමතීමට", "රියලිටි තරඟ වලට කෙටි පණිවුඩ යැවීමට", "විනිමය අනුපාත ලබා ගැනීමට" ආදී විවිධ හේතු නිසා විවිධ පුද්ගලයන්ට ජංගම දුරකථන අවශ්‍ය වේ. එහෙත් එම 'අවශ්‍යතා' පිළිබඳව කතා කිරීමේ දී මා හට හැඟී යන කරුණක් නම් 'ජංගම දුරකථන' යන්න එම අවශ්‍යතා තුළ නොතිබිය යුතු බයවි. එනම් 'ජංගම දුරකථන' 'ජංගම දුරකථන උදෙසා' නොවිය යුතු බවයි. (දුරකථන උදෙසාම දුරකථන පැවතීමෙන් දුරකථන සමාගම් හැර වෙනත් කිසිවෙකුට හෝ පොදුවේ සමාජයට ප්‍රයෝජනයක් නොවේ). දුරකථන බඳු ද්‍රව්‍යාත්මක දෙයක් නොවූව ද ඓහිකත්වය හෝ වෙනත් ඕනෑම අදහසක්, මතයක් සම්බන්ධව ද මෙය සාධාරණ යයි සිතමි. එනයින්, සමාජය "ඓහික කිරිමට උවමනා නිසා" ඓහිකත්වය ප්‍රචාරය කිරීම සාධාරණ හෝ ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් යයි නොසිතමි. එසේ නම් ඓහිකත්වය අවශ්‍ය ඇයි?

     

    මෙයට පිළිතුරු බොහොමයක් ඇති නමුදු ඉන් කිහිපයක් පමණක් විස්තර කරන්නට උත්සාහ කරමි. කිසියම් ප්‍රශ්නයක් / ක්‍රියාවලියක් දෙස ඓහික දැක්මකින් බැලීම (සැම කල්හිම නොවුණත් ) බොහෝ විටදී සාධාරණ විකල්පය වෙතැයි මම විශ්වාස කරමි. නිදසුනක් ලෙස "මෝරවැල්ල" නම් මන:කල්පිත ගම්මානයේ තැබෑරුමක් විවෘත කිරීම සහ ගම්වාසීන්ගෙනුත්, ආගමික නායකයින්ගෙනුත් එයට එල්ල වූ විරෝධය පිළිබඳ මන:කල්පිත ප්‍රශ්නය ගෙන බලමු. තැබෑරුම සඳහා අනුමැතිය ලැබුණේ ප්‍රදේශයේ දේශපාලකයෙකුගෙන් සහ තැබෑරුම ආරම්භ කළේ ප්‍රදේශයෙන් පිට පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් යයි සිතමු. ගොවිතැනින් ජීවත් වන ගමේ ජනගහනයෙන් බහුතරයක් වන බෞද්ධ පිරිස් සහ මෝරවැල්ලේ පන්සල ආශ්‍රිතව විරෝධය හටගත් අතර ධීවර සහ කම්කරු වෘත්තියෙන් යැපෙන ගමේ සැලකිය යුතු සුළුතරය වන කතෝලික ජනයා බොහෝ දුරට මෙම තැබෑරුම අවශ්‍ය යයි පවසතියි සිතමු. (මෙහි නම්, ගම්, ආගම්, සිදුවීම් සියල්ල මන:කල්පිත බව සලකන්න ). මෙම අවස්ථාවේ ගත යුතු "නිවැරදි තීරණය" කුමක් ද යන්න පිළිබඳව ඔබේ සහ මගේත් අප එකිනෙකාගේත් අදහස් බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ ඇත. එහෙත් එම ප්‍රශ්නයේ දී පිළිතුරක් දෙන සාධාරණ ආකාරයක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අප හට එය බාධාවක් යයි ද නොසිතමි.

     

    උක්ත ගැටළුව සාධාරණව විසඳිය හැකි එක් විදිහක් ගැන යෝජනාවක් ගෙනෙනු කැමැත්තෙමි. අප සියල්ලන්ම දන්නා පරිදි ඇල්කොහොල් සහ වෙනත් "විනෝද" ඖෂධ කායික, මානසික, සාමාජයික සංකූලතා ඇති කරන ද්‍රව්‍ය වේ. ඕනෑම සාධාරණ, ශිSට සම්පන්න රටක් මත්පැන් සඳහා ප්‍රමාණවත් සාර්ථක නීති පැනවිය යුතු වේ. මත්පැන් මුළුමණින්ම තහනම් කිරීම එබඳු "ප්‍රායෝගික, සාර්ථක" නීතියක් නොවන බව විවිධ රටවල් එසේ කිරීමට ගොස් නීති විරෝධී මත්පැන් ඉහළ යාමෙන් පැහැදිළි වේ. එසේම සාමාන්‍ය සිල්ලර භාණ්ඩ පරිද්දෙන් මත්පැන් පුළුල් ලෙස, අඩු මිලට ගන්නට තිබීමෙන් ද මත්පැන් භාවිතය ඉහළ ගොස් එම සංකූලතා ඇතිවිය හැකි ය. එබැවින් සමාජයේ මත්පැන් අඩු, එහෙත් ප්‍රශස්ත මට්ටමකින්, වගකීමෙන් යුතුව පැවතීම ඒ පිළිබඳ නීති වල අරමුණ විය යුතු ය. එහිදී තැබෑරුමක් දැමීමට ඉඩ දීමේදී/හෝ නොදීමේදී සැලකිය යුතු සාධාරණ කාරණා ලෙස, ප්‍රදේශයේ අනෙකුත් තැබෑරුම් වල පිහිටීම සහ ව්‍යාප්තිය, ඉලක්කගත ජනගහනය සහ ජනගහණ ඝනත්වය, ඒ ආශ්‍රිතව නීතිවිරෝධී ක්‍රියා සිදුවීමේ ඉඩකඩ (උදා : බාලවයස්කරුවන් ගැවසීම ) ආදිය ගත හැකි ය. එහෙත් මත්පැන් පිළිබඳව විවිධ ආගමිකයන්ගේ ආකල්ප මෙහිදී සැලකිල්ලට ගත යුතු ද? නිදසුනක් ලෙස ඉහත දක්වන ලද ප්‍රායෝගික සලකා බැලීම් නොකර "බුදු දහමට මත්පැන් විරුද්ධ නිසා" තැබෑරුමට අවසර නොදීම හෝ "කිතු දහමට මත්පැන් විරුද්ධ නොවන නිසා" තැබෑරුමට අවසර දීම යනාදී පිළිතුරු ආන්තික මෙන්ම අසාධාරණ ද වනු ඇත. එලෙසම එබඳු පිළිතුරු ලබාදිය හැක්කේ මුළුමණින්ම ඓහිකත්වයෙන් බැහැර වුණු දැක්මක සිටින බලධාරීන්ට ය.

     

    මේ අනුව ඉහත උදාහරණයෙන් පෙනී යන කරුණක් නම් යම් සමාජමය ගැටළුවක් / අර්බුදයක් දෙස සෙකියුලර් (ඓහික ) ලෙස බැලීම එම ගැටළුව දෙස ප්‍රායෝගික/ සාධාරණ ලෙස බැලීමට බොහෝ දුරට සමපාත වන බව යි. ඕනෑම ගැටළුවක් දෙස බැලීමේදී සාධාරණ බව සහ ප්‍රායෝගිකත්වය අත්‍යවශ්‍ය අංග බවට සැකයක් නැත. ඉතින් ගැටළුව දෙස ඓහික ලෙස බැලීමෙන් බොහෝ අවස්ථා වලදී සාධාරණ / ප්‍රායෝගික බව වෙත යා හැකි හෙයින් ඓහිකත්වය "සමාජ ගැටළු හොඳින් විසඳීමේ විශ්වසනීය ආකාරයක්" යයි සිතිය හැකි ය. ඓහිකත්වය සමාජයට අවශ්‍ය වන ප්‍රධාන කාරණය ද එයයි.

     

    කෙසේ වුව ද ඓහිකත්වය පිළිබඳ අදහස් ප්‍රචාරයේදී, පිළිගැනීමේ දී සහ ඒ අනුව ක්‍රියා කිරීමේ දී සැලකිය යුතු වැදගත් කරුණක් නම් ඒ කිසිවක් "ඓහිකත්වය උදෙසා" කිරීම වැරදි පිළිවෙලක් බවයි. ඓහිකත්වය ඓහිකත්වය උදෙසාම යොදා ගැනීමෙන් එය සෙසු සමාජ දේශපාලන මතවාද මෙන් ම ඩොග්මාවක් (හෙවත් මුල්බැසගත් මතවාදයක් ) වීම වැළැක්විය නොහැකි වනු ඇත. නිදසුනක් ලෙස රටක ප්‍රවේණික රෝගයක ව්‍යාප්තිය පාලනයට ගතහැකි එක් තීරණයක් නම් ගර්භනී කාලයේ කළලය එම රෝගය සඳහා පරික්ෂා කිරීම සහ රෝගය තිබෙන බව තහවුරු වුවහොත් ගබ්සාව අනිවාර්ය කිරීමයි. එසේ කිරීමේදී ගබ්සාවට විරුද්ධව ඇති අදහස් (ඒවායින් බහුතරයක් ආගමික ඒවායි ) නොසලකා හැරෙන අතර අදාළ රෝගයේ ව්‍යාප්තිය පාලනය පිළිබඳව පමණක් අවධානය යොමු කරනු ලබන නිසා එම තීරණය ද සෛද්ධාන්තිකව නම් "ඓහික තීරණයක්" ලෙස සැලකිය හැකි ය. එනමුදු සාධාරණත්වය, නිදහස, මූලික අයිතිවාසිකම්, ප්‍රායෝගිකත්වය ආදී වෙනත් වැදගත් කාරණා අමතක කර ගැනෙන තීරණයක් නිසා එබඳු තීරණ ඓහික වුවත් නැතත් යහපත් තීරණ වන්නේ නැත. වෙනත් විදිහකින් කියතොත් යහපත් තීරණයක් ගැනීමට නම් ගැටළුව දෙස ඓහිකව බැලීම අවශ්‍ය කාරණාවක් වුව ද කිසිසේත් "ප්‍රමාණවත් කාරණාවක්" වෙන්නේ නැත. නිදහස, සාධාරණත්වය, ප්‍රායෝගිකත්වය ආදී අනෙකුත් සලකා බැලීම් ඒ සඳහා ඉතා අවශ්‍ය ය. පොදු තීරණ ගැනීමේදී විවිධ පාර්ශව අතර පුළුල් ලෙස සාකච්ඡා කිරීම අනිවාර්ය අංගයක් විය යුත්තේ එබැවිනි.


Comments