විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කන්‍යාවන් ද?

ADAHAS BOONDIYA | විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කන්‍යාවන් ද? - [ගාමිණී වියන්ගොඩ]

Posted by BoondiOnLine 9.27.2010


වාහන හිමියන් අවුරුදු පතා දුම් පරීක්ෂා කොට ලබා ගන්නා සහතිකය එම වාහනයේ ආදායම් බලපත්‍රය වසරක් පාසා අළුත් කර ගැනීම සඳහා අනිවාර්ය වන්නේය. ඕනෑම මොහොතක පොලීසියෙන් ඉල්ලා සිටින විට මේ වාහන ආදායම් බලපත්‍රය යාවත්කාලීන කර නොතිබුණොත් වාහන හිමියා දඩයකට යටත් වෙයි. මේ ආකාරයෙන්, දැරියක් වැඩි විය පත් දා සිට විවාහ වන තෙක් වසරක් පාසා හෝ හය මසක් පාසා සිය කන්‍යා භාවය සහතික කළ බවට ලබා ගත් බලපත්‍රයකින් තොරව, නීත්‍යානුකූල විවාහයකට ඇතුලු විය නොහැකි බවට අණපණත් ආවොත් ඔබ පුදුම විය යුතු ද? විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් 6 දෙනෙකු සවස 6.30 ට පමණ තවත් ශිෂ්‍යයන් 6 දෙනෙකු සමග විශ්ව විද්‍යාල භූමියේ යම් ස්ථානයක කතා කරමින් සිටිය දී,

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. එල්. ඒ. කරුණාරත්න ගේ නියෝගය මත ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ, එම ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය ඇත් දැ යි පරීක්ෂා කර බැලීම සඳහා කළුබෝවිල රෝහලට පටවා යැවූ බව, පසු ගිය ඉරිදා 'ද සන්ඩේ ලීඩර්' පුවත්පත වාර්තා කෙළේය. මේ උපකුලපතිවරයා පසු ගිය කාලය තිස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ජීවිතවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම ශිෂ්‍ය ප්‍රජාවේ කෝපයට හේතු වී ඇති බවත්, විශ්ව විද්‍යාල භූමිය තුළ තිබූ 'ගිම්හාන පැල්' වලින් සමහරකුත්, තරුණ තරුණියන් වාඩි වී කතාබස් කළ බංකු සියල්ලමත් ඔහුගේ නියෝගය මත ගලවා දමා ඇති බවත්, පුවත්පත තව දුරටත් වාර්තා කරයි. පුවත්පතට මේ තොරතුරු සපයන්නේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්න යි.

මේ සිදුවීම පිළිබඳ එකම තොරතුරු මූලාශ්‍රය වන්නේ වින්දිත පාර්ශ්වයම නිසා, සමහර විට, අදාළ උපකුලපතිවරයාගේ තීරණය කෙරෙහි උපරිම විරෝධයක් ගොනු කරනු වස්, මේ කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සැබෑ භූමිකාවේ බර සැහැල්ලු කොට මාධ්‍ය වෙත තොරතුරු සැපයීම සිදු වී තිබිමට බැරි කමක් නැත. ඒ අනුව, සිද්ධිය සවස 6.30 ට නොව, ඊට වඩා ගොම්මන් වෙලාවක දී සිදු වී තිබිය හැකි බවත්, අදාළ ශිෂ්‍යයන් සමග මේ ශිෂ්‍යාවන් කතා කරමින් සිටියාට වැඩි යමක් කරමින් සිටින්නට ඇති බවත් කෙනෙකු කීවොත් එය ද අරුමයක් නොවේ.

කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන අපට, දියුණු විශ්ව විද්‍යාල පද්ධතියක දීර්ඝ ඉතිහාසයක් ඇති අපට, මේ කියන ශිෂ්‍යාවන් නිකං ම කතා කරමින් සිටියේ ද නැද්ද යන්නවත්, වෙලාව සවස 6.30 ද 9.30 ද යන්නවත් අදාළ නැත. හේතුව, අප මේ කතා කරන්නේ, උසස් අධ්‍යාපනික ආයතනයක් වන විශ්ව විද්‍යාලයක් සහ වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ගැන මිසක්, යම් මිශ්‍ර පාසලක් ගැන හෝ බාල වයස්කාර පරපුරක් ගැන හෝ නොවන බැවිනි.

තරුණියකගේ කන්‍යා භාවය යම් බලාධිකාරයක නියෝගය යටතේ පරීක්ෂාවට ලක් කළ හැක්කේ, එම තරුණිය යමෙකු අතින් දූෂණයට ලක් වී ඇතැ යි නගන චෝදනාවකට අදාළව පමණි. එහි දී පවා පරීක්ෂණයක් සිදු කරන්නේ, දූෂකයා අතින් සිදු වී යැයි කියන වරද ඔප්පු කිරීමේ එක් සාක්ෂියක් වශයෙන් මිසක්, දූෂණයට ලක් වූ ගැහැනියගේ වරදක් සනාථ කිරීමට නොවේ. ඒ සඳහා එකම නිසි බලධාරියා වන්නේ අධිකරණයයි. විශ්ව විද්‍යාලයක උපකුලපති කෙනෙකුට තබා, තරුණියකගේ භාරකාරත්වය දරන්නේ යැයි සැළකෙන දෙමාපියන්ට පවා, මේ කියන කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ අයිතියක් නීතියෙන් හිමි වන්නේ නැත. විද්‍යෝදයේ ශිෂ්‍යාවන් දූෂණයට ලක් වී ඇත් නම්, ඔවුන් සමග සිටියා යැයි කියන ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණි. එහෙත් පුවත්පත වාර්තා කරන පරිදි, එවැනි කිසිවක් සිදුව නැත. එම ශිෂ්‍යයන්ව නිකංම එලවා දමා ශිෂ්‍යාවන් 6 දෙනා පමණක් ගිලන් රථයක නංවාගෙන කළුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත.

දැන් උපකුලපතිවරයාට, සිය බලපුලුවන්කාරකම පෙන්වීමට අවශ්‍යම නම්, යම් පියවරක් ගැනීම සඳහා ඉතිරි වන්නේ, මේ කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාල භූමිය තුළ අශෝභන ආකාරයෙන් හෝ අනාචාරයේ හෝ හැසිරුණේ ය යන පදනම පමණි. උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ක්‍රමය යි. එහි දී ද, කන්‍යා භාවය අසළකින්වත් ගෑවෙන්නේ නැත.

කන්‍යා භාවය කිසි දවසක නොබිෙඳන තැනක් තිබේ. ඒ, වැඩවසම් චින්තනය තුළ යි. විවාහ වන තෙක් ගැහැනියක් කන්‍යා භාවය රැක ගැනීමේ වගකීමෙන් බැදී සිටින බවත්, පිරිමියාට ඒ වගකීම නැති බවත් පිළිගන්නා සමාජයක පිරිමියාව පුහුණු කරන්නේ, විවාහයට පෙර තමන් අතින් මොන තරම් තරුණියන්ගේ කන්‍යා භාවය උදුරාගෙන තිබුණත්, තමාගේ විවාහය කන්‍යාවියක් සමග පමණක්ම සිදු විය යුතු බවට විශ්වාස කරන පුරුෂ පක්ෂයක ප්‍රතිරූපයට අනුරූපවයි. මේ නිසාම කන්‍යා භාවය කී පමණින් අපේ සිතට නැගෙන්නේ ගැහැනියකගේ චිත්‍රයකි. පිරිමින්ටත් ඔය කියන කන්‍යා භාවය තිබෙන බවක් බොහෝ දෙනා නොදන්නා බවක් අඟවති. දන්නා බවක් පෙන්නුම් කරන අය පවා හිතන්නේ, එය විවාහයට පෙර නැති කර ගැනීම 'පිරිමිකමේ' සාඩම්බර ලක්ෂණයක් වශයෙන් මිස, ගැහැනියකට මෙන්, විවාහය 'අවජාතක' කෙරෙන නුසුදුසු අඩයාලමක් වශයෙන් නොවේ.

කන්‍යා භාවයට මේ තරම් විශාල වටිනාකමක් පවරන සමාජයක ගැහැනිය පමණක් නොව, පිරිමියා ද ඒ 'සාරධර්මයේ' ගොදුරක් බවට පත්වීම මේ තත්ත්වය තුළ දක්නට ලැබෙන ලොකුම උත්ප්‍රාසයයි. විද්‍යෝදයේ සිදුවීම කියාපාන්නේ ඒ සත්‍යයෙන් බිඳකි. මෙසේ ගොදුරක් වීම විවිධ ආකාරයෙන් සිදු වන බව අපි දනිමු. බොහෝ විවාහ ජීවිත මේ කාරණය හේතු කොටගෙන අපා දිවි බවට පත් වෙයි. කන්‍යා භාවය තරමටම, විවාහය නැමැති සංස්ථාවත් ආපසු හැරවිය නොහැකි සමාජ භූමිකා බවට පත්ව ඇති තත්ත්වයක් තුළ, විවාහයේ දී කන්‍යාවියක් නොවීම බිරිඳටත් වඩා සැමියාට උර චක්‍රමාලයක් විය හැකිය. උපන් දා සිට ඔහු තුළ රෝපණය කළ 'පිරිමි කම' පිළිබඳ අළුත් නිර්වචන සෙවීමට මේ තත්ත්වය තුළ ඔහුට බල කෙරෙයි. තමාට සිදු වූ විපත තවත් පිරිමියෙකුට අත්කර නොදෙනු වස්, තමා දන්නා සෑම ගැහැනියකගේම කන්‍යා භාවයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම පිරිමියෙකු වශයෙන් තමාගේ සමාජ යුතුකමක් හා වගකීමක් වශයෙන් සැළකීමට මේ තත්ත්වය තුළ යම් පිරිමියෙකු උත්සුක වුවහොත් කෙනෙකු පුදුම විය යුතු නැත.

විශ්ව විද්‍යාලයක වසර කිහිපයක් තිස්සේ පැවැත්වෙන සියළු විභාගවලට අමතරව කන්‍යා භාවය පිළිබඳ විභාගයත් නියමිත උසස් අධ්‍යයන පරිපාටියේ අංගයක් බවට පත් කිරීමේ මංගල මොහොත එළැඹෙන්නේ දැන් වුවත්, ඊට අවශ්‍ය කෙරෙන භෞතික වූත්, චින්තනමය වූත් පරිසරය ඔය කියන විශ්ව විද්‍යාල පරිශ්‍රයන් තුළ බිහි වෙන්නට පටන් ගෙන දැන් බොහෝ කලක් ගත වෙයි. එහෙත් ඒවා, ශිෂ්‍ය පරම්පරාවට මෙන්ම ආචාර්ය ප්‍රජාවට ද 'සාමාන්‍ය' සිදුවීම් විය. විශ්ව විද්‍යාලයේ විවෘත භූමිය තුළ පවා සිගරට් බීම මහා පාප කර්මයක් වශයෙන් සළකා මාෂල්වරු එවැනි 'වැරදිකරුවන්ගේ' පස්සෙන් පන්නන විට, එය සමාජ සුභ සිද්ධිය සඳහා වන 'අර්ථවත්' ක්‍රියාවක් විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සවස 7 න් පසු කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවකට හෝ ගුරුවරයෙකුට එම භූමියේ රැඳී සිටිය නොහැකි බවට බලධාරීන් තහනම් නියෝග පනවන විට එය 'ආරක්ෂාව' සඳහා අත්‍යාවශ්‍ය පියවරක් විය. විශ්ව විද්‍යාල භූමියට පොලීසිය පැමිණීම සහ ශිෂ්‍යන්ගේ සෙල් ෆෝන්වල අසැබි දෑ ඇත් දැයි පරීක්ෂා කරන විට ඒවා සදාචාරවත් සමාජයක නෛතික අවශ්‍යතා විය. ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයාට හැඳුනුම් පත පෙන්වීම සාමාන්‍ය දෛනික පුරුද්දක් විය. කොටින්ම, උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාලය සතුව පැවති අභිමානය ප්‍රහීන වී ඉස්කෝලයක් බවට විශ්ව විද්‍යාලය පත්වුණේ දැන් සෑහෙන කලක සිට ය.

යුද්ධ කාලයේ දේශප්‍රේමය සීග්‍රයෙන් අලෙවි කෙරෙන විට එහි පෙරමුණේ සිටි ජනතා විමුක්ති පෙරමුණු ශිෂ්‍ය ව්‍යාපාරය, මේ දේශප්‍රේමය තුළට දේශීයත්වය සහ අපේ කම ආදිය යහමින් මුසු කෙළේය. කන්‍යා භාවය පිළිබඳ වර්තමාන වාර්තාව සපයන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, එම දේශපාලනයේ ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් සැළකේ. මොවුන් පසු ගිය කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට ජීන්ස් කලිසම් ඇඳීම තහනම් කෙළේය. ඒ, අපේ කමට කලිසම නොගැළපෙන බැවිනි. පිරිමියාට ගැලපෙන කලිසම ගැහැනියට නොගැලපෙන්නේ ඇයි? ලිංගිකත්වය නිසා ය. සායකින් නොපෙනන බාහිර හැඩයක් (උදාහරණයක් වශයෙන් තට්ටම්) කලිසමට කැපී පෙනේ. එය, ගැහැනියක් හඳින විට, ලිංගික අරුතකින් 'අශෝභන' ය. එම කලිසම ම, පිරිමියාගේ ඉදිරිපස පිරිමි ඇඟ ඉදිරියට නෙරා පෙන්වයි. එම දර්ශනය අශෝභන නැත. මේ සුචරිතවාදී චින්තනයත්, ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරීක්ෂා කිරීම මෙහෙයවෙන බලධාරීන්ගේ චින්තනයත් අතර කිසි වෙනසක් නැත.

අද උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන්නේ මෙම විශ්ව විද්‍යාලයේම ආදි සිසුවෙකි. මීට කලකට ඉහත දී, මේ රටේ පෙම්වතුන්ට නිදහසේ හමු විය හැකි වන සේ පෙම් උයන් නිමවා දෙන බවට ඔහු පොරොන්දු විය. පෙම් උයන් කෙසේ වෙතත්, වාඩි වීමට තිබූ බංකුව පවා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවට අද අහිමිව තිබේ. එම විශ්ව විද්‍යාලයේම උපකුලපතිවරයා, තරුණ තරුණියන් පෙම් කිරීම 'පාප කර්මයක්' සහ 'අපරාධයක්' වශයෙන් සළකයි. මේ කිසිවක් හුදෙකලා සිදුවීම් නොවේ. ඉර හඳ පවතින තුරා මිනිස් වර්ගයාගේ කේවල හතුරා වන්නේ ලිංගිකත්වය යැයි ගත් මූලධර්මවාදී චින්තනයක් අද මුළු සමාජය පුරා අරක් ගනිමින් සිටී. අවසාන ප්‍රතිඵලය වශයෙන් මුල්ලාවරුන්ගේ රාජ්‍යයක් බිහි කර ගැනීමට ඔබ ඉස්ලාම් විය යුතු ම නැත. ගෞතම බුදුන්ගේ දේශයේ ද එය සිදු විය හැකිය.

(අවරදිග ආවර්ජනා. රාවය. 2010.11.26)

ගාමිණී වියන්ගොඩ
Comments