සංශෝධනය විය යුත්තේ මේ ව්‍යවස්‌ථාවෙන් ඇති කර තිබෙන ආඥදායක පාලනයයි

මේ රටේ ජනතාව ආගමික හා භාෂාමය පදනමක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බෙදා වෙන්කොට තිබෙනවා. මේ තත්ත්වය පටන් ගත්තේ 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙනි. අප කැමැති වුණත් අකැමැති වුණත් බහුවාර්ගික ජන සමාජයක රාජ්‍යය පැවැතිය යුත්තේ අපක්‍ෂපාතී බේරුම්කරුවකු හැටියටයි. රටේ සෑම පුරවැසියකුටම සමාන ඉඩ ප්‍රස්‌ථාවන් යන සිද්ධාන්තය ක්‍රියාවට නඟන්නට පුළුවන් එවිටයි. 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඒ තත්ත්වය වෙනස්‌ කළා. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස සෘජුව ප්‍රකාශයට පත් කර නැතත් බුද්ධාගමට විශේෂ ස්‌ථානයක්‌ ලබා දෙන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර තිබෙනවා. මේ ආකාරයට ආගමික හා භාෂාමය පදනමක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම පුද්ගලයන් වර්ග කර තිබීම නිසා අපේ රටේ පුද්ගලයන් ඒ ශේ්‍රණියේ සහ බී ශේ්‍රණියේ පුද්ගලයන් ලෙස වර්ග කර තිබෙනවා. ඒ ශේ්‍රණියේ පුද්ගලයන් වන්නේ සිංහල බෞද්ධයන්, සිංහල බෞද්ධයන් නොවන සියලු දෙනා බී ශේ්‍රණියට අයත් වෙනවා. මෙවැනි තත්ත්වයන් තුළ මේ රටේ රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකුය යන විශ්වාසය ජනතාව තුළින් ගිලිහී යනවා. එම නිසා ජනතා විශ්වාසය තහවුරු වන ආකාරයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුයි.


රටක්‌ දියුණු කරන්න නම් මුලින්ම ඒ රටේ ජීවත් වන සෑම පුද්ගලයකු තුළම මේ මගේ රට කියන හැඟීම ඇති වෙන්න ඕන. අපේ රටේ සියලු ජනතාව තුළ ඒ හැඟීම ඇති කරන්න ගත යුතු පියවර රැසක්‌ තිබෙනවා. අද දෙමළ, මුස්‌ලිම් ජන කොටස්‌ පමණක්‌ නොවෙයි. සිංහල ජන කොටසුත් මේ රාජ්‍යය ගැන කලකිරිලා.

... රට දියුණු කරන්න නම් මුලින්ම සාමානාත්මතාවය ගොඩනගන්න ඕන. සිංහල, දෙමළ, මුස්‌ලිම් වේවා එජාප පොඑපෙ ජවිපෙ හෝ අන් කවර පක්‍ෂයක වේවා මේ රටේ ජීවත් වන හැම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජාතිය ගොඩනැගීමේ පදනම ඇති කළ යුත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සමාන පුරවැසියන් සමාන ඉඩ ප්‍රස්‌ථා කියන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව තුළින් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් කුමන සංශෝධන ගෙනාවත් වැඩක්‌ නැහැ.





විද්වත් හමුව

සංශෝධනය විය යුත්තේ
මේ ව්‍යවස්‌ථාවෙන් ඇති කර තිබෙන
ආඥදායක පාලනයයි




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු යෑයි මතුව ඇති කතිකාවකට අලුතින්ම එකතු වී ඇත්තේ ජනාධිපති තනතුර දරන වාර ගණන අහෝසි කළ යුතුය යන අදහසයි. අපේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධනය විය යුතු තැන් මොනවාද? මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සුරැකෙන පරිදි එය සිදු කළ හැක්‌කේ කෙසේද යන්න පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.



ඔබ දකින විදිහට වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධනය විය යුතු තැන් මොනවාද?

අංශ කිහිපයකින්ම වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය විය යුතුයි. මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බරපතල ආඥදායකත්වයක්‌ ගොඩනගල තියෙනව. එය ප්‍රායෝගිකව පෙනෙනව. නමුත් අධ්‍යයනයකින් තොරව අවබෝධ කරගන්න බැහැ. එම ආඥදායකත්වය නැති කළ යුතුයි.

දෙවනුව මේ ආණ්‌ඩු්‍රක්‍රම ව්‍යවස්‌ථාවෙන් මේ රටේ පුරවැසියන් කොටස්‌ 2 කට වර්ග කර තිබෙනව. ඒ නීතියට යටත් නැති වැසියන් සහ නීතියට යටත් වැසියන් විදිහටයි. ජනාධිපතිවරයා නීතියට යටත් නැහැ. ජනාධිපතිවරයා හැර අන් සියලුදෙනාම නීතියට යටත්. නමුත් නීතියේ අධිපතිත්වයෙන් අර්ථ නිරූපණය කරන්නේ පාලකයා මෙන්ම පාලිතයා ද නීතියට යටත් විය යුතු බවයි. නීතියට ඉහළින් කිසිවකු සිටිය නොහැකියි. මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් නීතියේ අධිපතිත්වය බිඳ දමල තිබෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම නීතියේ අධිපතිත්වයයි. රටක නීතියේ අධිපතිත්වය ඒ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බිඳ දමා තිබෙනවා නම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තිබෙනවා යෑයි කියන්නට බැහැ. එසේ නම් නීතියේ අධිපතිත්වය සුරැකෙන පරිදි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු වෙනවා.

ඊළඟ කාරණය මේ රටේ ජනතාව ආගමික හා භාෂාමය පදනමක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බෙදා වෙන්කොට තිබෙනවා. මේ තත්ත්වය පටන් ගත්තේ 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙනි. අප කැමැති වුණත් අකැමැති වුණත් බහුවාර්ගික ජන සමාජයක රාජ්‍යය පැවැතිය යුත්තේ අපක්‍ෂපාතී බේරුම්කරුවකු හැටියටයි. රටේ සෑම පුරවැසියකුටම සමාන ඉඩ ප්‍රස්‌ථාවන් යන සිද්ධාන්තය ක්‍රියාවට නඟන්නට පුළුවන් එවිටයි. 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඒ තත්ත්වය වෙනස්‌ කළා. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස සෘජුව ප්‍රකාශයට පත් කර නැතත් බුද්ධාගමට විශේෂ ස්‌ථානයක්‌ ලබා දෙන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර තිබෙනවා. මේ ආකාරයට ආගමික හා භාෂාමය පදනමක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම පුද්ගලයන් වර්ග කර තිබීම නිසා අපේ රටේ පුද්ගලයන් ඒ ශේ්‍රණියේ සහ බී ශේ්‍රණියේ පුද්ගලයන් ලෙස වර්ග කර තිබෙනවා. ඒ ශේ්‍රණියේ පුද්ගලයන් වන්නේ සිංහල බෞද්ධයන්, සිංහල බෞද්ධයන් නොවන සියලු දෙනා බී ශේ්‍රණියට අයත් වෙනවා. මෙවැනි තත්ත්වයන් තුළ මේ රටේ රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම්කරුවකුය යන විශ්වාසය ජනතාව තුළින් ගිලිහී යනවා. එම නිසා ජනතා විශ්වාසය තහවුරු වන ආකාරයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුයි.

ඊළඟ කාරණය මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ජනාධිපති තනතුරට ලබාදී තිබෙන බලතල අනිවාර්යයෙන් කප්පාදු කළ යුතුයි. මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මග පාදා තිබෙන්නේ හිතුවක්‌කාර ආඥදායක පාලනයකටයි. ජනාධිපති තනතුරට ලබාදී තිබෙන බලතල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි. මේ බලතල අවම කළ යුතුයි.

පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳවත් විවිධ විවේචන එල්ල වී තිබෙනවා. එය කෙබඳු සංශෝධනයකට ලක්‌ කළ යුතුද?

පවතින මැතිවරණ ක්‍රමය පැහැදිලි ලෙසම අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය කර තිබෙනවා. නමුත් මේ මැතිවරණ ක්‍රමය තුළිනුත් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ බිහි කළ හැකි බව පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. එම නිසා මේ පවතින මැතිවරණ ක්‍රමය දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. එකක්‌ සමානුපාතික නියෝජන ක්‍රමය තුළින් ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ ගොඩනඟා ගන්න බැහැ කියන එක. ඒක න්‍යායාත්මක වශයෙන් පවතින තත්ත්වයක්‌. නමුත් ඒ න්‍යායාත්මක තත්ත්වයට පටහැනි තත්ත්වයක්‌ දැන් ඉස්‌මතුවෙලා තියෙනව. පසුගිය මැතිවරණයෙන් මේ ආණ්‌ඩුවට ආසන 144 ක්‌ ලැබිල තියෙනව. කුමන හෝ ක්‍රමයකින් ජනතාවගේ ඡන්ද ලබා ගන්න පුළුවන් නම් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න පුළුවන්. නමුත් මේක අවුල් සහගතයි. මේ ප්‍රකාශ වෙන්නෙ ජනතාවගේ අභිමතයද? මේ ක්‍රමය යහපත් ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැමට දිරිදෙන ක්‍රමයක්‌ කියල පිළිගන්න බැහැ. නමුත් එවැනි දුර්වලතා තිබුණත් බහු වාර්ගික ජන සමාජයක බහු ජනකොටස්‌වලට පාර්ලිමේන්තු නියෝජනයක්‌ ලබාදීමට සමානුපාතික නියෝජන ක්‍රමය උපකාර වෙනව. මේ ක්‍රමය නැතිව ආසන ක්‍රමයට ගියොත් ප්‍රධාන පක්‍ෂ දෙකක්‌ අතර පමණයි බලය හිමිවෙන්නේ. මේ රටේ සියයට හැත්තෑවක්‌ වන සිංහල ජනවර්ගය තමයි එතැනදි ඉස්‌මතු වෙන්නෙ. එවිට පත්වෙන ආණ්‌ඩුව තමුන් පත් කළ පිරිසට වැඩිපුර සලකනව. එම නිසා මෙවැනි තත්ත්වයක්‌ යටතේ සරල බහුතර නියෝජන ක්‍රමය ඉදිරියට ආවොත් සුළු ජාතීන්ට එය විශාල අවාසියක්‌.

මෙය දෙයාකාරයකින් සැලකිය යුතු කාරණයක්‌ ලෙස මා දකින්නේ ඒ නිසයි. සමානුපාතික නියෝජන ක්‍රමය මගින් ශක්‌තිමත් ආණ්‌ඩු බිහිකිරීම අපහසුයි. ශක්‌තිමත් විපක්‍ෂයක්‌ හදා ගන්න බෑ. එහෙන් මෙහාට පනිනව. මෙහෙන් එහාට පනිනව. මනාප ක්‍රමය නිසා එකම පක්‍ෂයේ අය ඇණකොටා ගන්න තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. එමනිසා මේ පවතින්නේ ශීලාචාර මැතිවරණ ක්‍රමයක්‌ නෙමෙයි. මේ මැතිවරණ ක්‍රමය අනුව අද මිනිස්‌සු පුරුදුවෙලා ඉන්නෙ කාල බීල ඡන්දෙ දෙන්න. දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මොනවද කියල අද මිනිසුන්ට වැඩක්‌ නැහැ. ඒවා රටට හිතකරද අහිතකර ද ඒවායින් රට ගොඩනගන්න පුළුවන්ද බැරිද අද මිනිස්‌සු ඡන්දෙ දෙන්නෙ මේවට නෙමෙයි. අද භෞතික වාසිවලට ඡන්දෙ දෙන්න ඡන්දදායකයො පුරුදු වෙලා. ඡන්ද අපේක්‍ෂකයො අද ඡන්ද දායකයන්ට කන්ඩ දෙනව බොන්ඩ දෙනව. කුඩ දෙනව, සාරි දෙනව මොනවද නොකරන්නේ? ඉතාමත් ලැඡ්ජා සහගත තත්ත්වයක්‌. ඉතාමත් දූෂිත තත්ත්වයක්‌.

එම නිසා මේ මැතිවරණ ක්‍රමයත් සංශෝධනයට ලක්‌ විය යුතුයි. සමානුපාතික නියෝජන ක්‍රමයේ සහ ආසන ක්‍රමයේ මිශ්‍රණයක්‌ ලෙස ඇති කර ගන්නා ක්‍රමයකින් අපේ මැතිවරණ ක්‍රමය සකස්‌ විය යුතු බව මගේ අදහසයි.

විධායක ජනාධිපති තනතුරට හිමි බලතල කප්පාදු කළ යුතු බව ඔබ කියා සිටියා. කිසියම් පුද්ගලයකුට විධායක ජනාධිපති තනතුර දැරිය හැක්‌කේ දෙවතාවක්‌ පමණයි. අපේ රටේ අගමැති තනතුරට එවැනි සීමාවක්‌ නැහැ. මෙවර සිදු කිරීමට යන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ජනාධිපති තනතුර දැරිය හැකි වාර ගණන අහෝසි කිරීම පිළිබඳ සලකා බලන බව ප්‍රකාශ වී තිබෙනවා. විධායක ජනාධිපති තනතුරට එවැනි සීමාවක්‌ අවශ්‍යද?

පුද්ගලයෙක්‌ ජනාධිපති තනතුර දරන වාර ගණන සීමා කර තැබීම සුදුසු දෙයක්‌ වගේම නුසුදුසු දෙයක්‌. කිසියම් පුද්ගලයෙක්‌ මේ තනතුරට හිමි බලතල රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ක්‍රියාවට නංවමින් මිනිසුන්ගේ රටේ හා සමාජයේ අභිවෘද්ධිය සඳහා ශීලාචාරව යුක්‌ති සහගතව සාධාරණව නීතියට අනුකූලව බුද්ධිමත්ව ක්‍රියාවට නංවනවා නම් ඒ පුද්ගලයා දෙවතාවක්‌ නොව කී වතාවක්‌ ජනාධිපති තනතුර දැරුවත් කමක්‌ නැහැ. ඒ වගේම මේ බලතල තමන්ගේ සහ තම පවුලේ වාසිය සඳහා තමුන්ගේ හිතවතුන්ගේ සහ තම පක්‍ෂයේ වාසිය සඳහා යොදා ගන්නවා නම්, බලය තමන් වටා ඒකරාශී කරගන්නට යොදා ගන්නවා නම් එවැනි පුද්ගලයෙක්‌ දෙවතාවක්‌ නොවෙයි. එකවතාවක්‌වත් මේ තනතුරට පත් කිරීමට සුදුසු නැහැ. යම් පුද්ගලයෙක්‌ දෙවතාවක්‌ මේ තනතුර දරනවා කියන්නේ ඔහු වසර 12 ක්‌ බලයේ ඉන්නවා. ඔහු තෙවතාවක්‌ මේ තනතුර දැරුවොත් අවුරුදු 18 ක්‌ සිව් වතාවක්‌ නම් අවුරුදු 24 ක්‌. ඔහු ජනාධිපති තනතුරට පත් වූයේ වයස අවුරුදු 50 දී නම් එවිට ඔහුගේ වයස අවුරුදු 74 ක්‌. එතකොට මේ රටේ තරුණ නායකයන්ට මොකද වෙන්නේ? අවුරුදු හැට හැත්තෑව වනවිට පුද්ගලයකුගේ කල්පනා ශක්‌තිය ඔහුගේ වැඩ කිරීමේ හැකියාව ආදී කරුණු ගැනත් හිතන්නට ඕන. මේ තනතුර ඇති කරපු ඡේ. ආර්. තමයි මේ රටේ බිහිවුණු තක්‌කඩිම නායකයා, ඔහු මේ තනතුර දෙවතාවකට සීමා කළේ නිකම්ම නෙවෙයි. අද කතිකාවත විය යුත්තේ මේ තනතුර දරන මේ වාර දෙකේ සීමාව නැති කිරීම නෙවෙයි. මේ තනතුර නැති කිරීමටයි. තනතුර අහෝසි කළ යුතුයි කියල ජනතා මතයක්‌ අද ගොඩනැඟිල තියෙනව. මේ තනතුර අපේ රටේ ව්‍යවස්‌ථානුකූල ආඥදායකත්වයක්‌ නිර්මාණය කර තිබෙනවා. මේ තනතුර දිගින් දිගටම පවත්වා ගෙන යනව කියන්නෙ එය තවදුරටත් තහවුරු වීමක්‌ පමණයි.

රටක්‌ දියුණු වීමට නම් ඒ රටේ සමාජ, දේශපාලන හා ආර්ථික අංශයන්හි දියුණුවක්‌, සංවර්ධනයක්‌ ඇතිවිය යුතුයි. අපේ රටේ මෙම අංශයන්හි සංවර්ධනයක්‌ සඳහා සිදු කිරීමට යෝජිත මේ ව්‍යවස්‌ථා සංශෝධනය ඉවහල් කර ගන්නේ කොහොමද?

රටක්‌ දියුණු කරන්න නම් මුලින්ම ඒ රටේ ජීවත් වන සෑම පුද්ගලයකු තුළම මේ මගේ රට කියන හැඟීම ඇති වෙන්න ඕන. අපේ රටේ සියලු ජනතාව තුළ ඒ හැඟීම ඇති කරන්න ගත යුතු පියවර රැසක්‌ තිබෙනවා. අද දෙමළ, මුස්‌ලිම් ජන කොටස්‌ පමණක්‌ නොවෙයි. සිංහල ජන කොටසුත් මේ රාජ්‍යය ගැන කලකිරිලා. අද සිංහල එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට මොන තරම් හිරිහැරවලට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවද? ඔවුන් ඒ හිරිහැරවලට ලක්‌වී සිටින්නෙ තමන් කැමැති පාලකයට සහයෝගය දැක්‌වීමට ව්‍යවස්‌ථාවෙන්ම ඔවුන්ට දී තිබෙන අයිතිය ක්‍රියාත්මක කිරීම නිසයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර තිබෙනවා නම් ඇයි මේ මිනිස්‌සුන්ට හිරිහැර විඳින්නට වෙන්නෙ.

අද හැම දෙයක්‌ම දේශපාලනීකරණය වෙලා. අපේ රටේ බලයට පත් වුණු හැම ආණ්‌ඩුවක්‌ම බැලුවේ තමුන් බලයට පත් කරපු මිනිහට සලකන්න විතරයි. මෙවැනි තත්ත්වයක්‌ තුළ රටට ආදරය කරන ජනතාවක්‌ ගොඩනගන්න බැහැ.

රට දියුණු කරන්න නම් මුලින්ම සාමානාත්මතාවය ගොඩනගන්න ඕන. සිංහල, දෙමළ, මුස්‌ලිම් වේවා එජාප පොඑපෙ ජවිපෙ හෝ අන් කවර පක්‍ෂයක වේවා මේ රටේ ජීවත් වන හැම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජාතිය ගොඩනැගීමේ පදනම ඇති කළ යුත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සමාන පුරවැසියන් සමාන ඉඩ ප්‍රස්‌ථා කියන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව තුළින් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් කුමන සංශෝධන ගෙනාවත් වැඩක්‌ නැහැ.

සාකච්ඡා කළේ-පාලිත සේනානායක 


Original location of this article:

http://www.divaina.com/2010/05/30/politics08.html


Comments