ඓහිකත්වය යනු කුමක්ද?

ඓහිකත්වය යනු කුමක්දැයි ඔබට දැනටමත් යම් අදහසක් ඇතැයි විශ්වාස කරමි. ඓහිකත්වය යන සරලව කිවහොත්; දේශපාලනය සහ නීති ක්රියාත්මක කිරීම ආගමික විශ්වාස වලින් ස්වායක්ත කිරීම සහ ආගමික විශ්වාස නීතියෙන් සහ දේශපාලනයෙන් ස්වායක්ත කිරීමයි.
 
අතීතයේ ආගම් බොහෝමයක් මිනිසාගේ පෞද්ගලික කාරණයක් ලෙස පැවති ඒවා. උදාහරනයක් ලෙස බෞද්ධ, හින්දු, යුදෙවු වැනි ආගම් අදහන්නන් තම ආගම ප්‍රචාරය කිරීම උදෙසා එතරම් උනන්දුවක් නොදක්වන අතර තමන්ගේ ආගමික විශ්වාස තමන් කෙරෙහිම තබාගැනීමට වගබලාගත්තා. නමුත් පසු කාලීනව බිහි වූ ආගම් (විශේෂයෙන්ම ඒක දේව වාදී) බොහෝ සෙයින්ම දේශපාලනික අරමුනක් ඇතිව බිහි වී ඒවා ප්‍රචාරය කිරීමට වැඩි කාලයක් සහ ශ්‍රමයක් යොදවන තත්වයට පත් වුනා. මේ හේතුවෙන්ම ඒවා මිනිසාගේ එදිනෙදා ජීවිතය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නට යෙදුනා.
  
මේ වෙනස් වීම මා කලින් සඳහන් කල පුරාණ ආගම් වලටද බලපෑමක් කර ඇති බව අද වන විට අපට පෙනී යන කාරනයක්. උදාහරනයක් ලෙස අසල්වැසි ඉන්දියාව ගෙන බැලුවොත් සාපේක්ශව සාමකාමී ආගමික ඇදහීමක් ලෙස් පැවති හින්දු සමහර කොටස් අද නොයෙකුත් දේශපාලනික අරමුනු උදෙසා තම ආගම කල්ලි ස්වරූපයකට වෙනස් කරගෙන තිබෙනවා. ශිව සේනා නම් ඉන්දියානු කල්ලිය බිහි වී ඇත්තේ හුදෙක් ම දේශපාලනික අරමුනු කිහිපයක් මුල් කරගෙන, අන්ත දක්ශිනාංශික පිරිසක් දිනා ගැනීමේ සහ එමගින් අන්‍ය ජාතීන් මර්ධනය කිරීමේ අරමුනෙන්. මේ සඳහා ඔවුන් බටහිර කතෝලික දක්ශිනාංශික රාමුව ඉන්දියාවේ හින්දු රාමුව තුලට අවශෝශනය කරගෙන තිබෙනවා. මේ තත්වය ලංකාව තුලද ඇති වීමේ දැඩි අවදානමක් ඇති වී තිබෙනවා.
 
සන්නිවේදන සහ ගමනාගමන තාක්ශනයන්ගේ දියුනුවත් සමඟ වර්තමාන ලෝකයේ මිනිසුන් බොහෝ සෙයින් මිශ්‍ර වී තිබෙනවා අපට දකින්නට පුලුවන්. එම නිසා අපට අද ජීවත් වන්නට සිදු වන්නේ වෙනස් ජාතීන් වල සහ වෙනස් ආගම් අදහන මනුශ්‍යයන් සමඟ. මේ කාරනාව සමස්ත ලෝකයටම පොදු දෙයක් බවට පත් වී තිබෙනවා. ඉතින් මෙසේ එකිනෙකට වෙනස් ඇදහිලි ඇති ජනතාවක් එකම නීති පද්ධතියක් සහ දේශපාලනික පසුබිමක් තුල ජීවත් වන විට මේ සියලු දෙනාටම සාදාරනය ඉටු වන පරිසරයක් නිර්මානය කල යුතුයි. එසේ නොමැති වීමෙන් අනිවාර්යයෙන්ම මිනිසුන් අතර ගැටුම් ඇති වීමේ විශාල අවධානමක් ඇති වේ.
 
මනුශ්‍යයින්ගේ ආගමික විශ්වාස දේශපාලනික උපකරන ලෙස යොදාගැනීම අපේ රටට අලුත් දෙයක්, නමුත් එම තත්වය අප රට තුලද ඇති වී තිබෙන බව අපට පිලිගැනීමට සිදු වෙනවා. උදාහරනයක් ලෙස දැක්වුවොත් මිහිඳු හිමියන් ලංකාවට වැඩම කර දේවානම්පියතිස්ස රජතුමා තෙරුවන් සරණයෙහි පිහිටුවා ඉතා කෙටි කලකින් ම ලක් දිවෙහි බහුතර සිංහල ජනයාද තෙරුවන් සරන ලබා ගත්තා. මෙය කිසි සේත්ම දේශපාලනික බලපෑමකින් තොරව මනුශ්‍යයාගේ ස්ව කැමත්ත නිසාම සිදු වූ දෙයක් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. යුරෝපයේ ඒ ඒ ආගම් ප්‍රචාරය කිරීමට යොදාගත් දේශපාලනික බලපෑම් කිරීම් සහ ජන ඝාතන මෙන්ම ඒ ඒ ආගම් මගින් ඊට පෙර පැවති ඇදහිලි ක්‍රම සම්පූර්ණයෙන්ම අතුගා දැමීම සමඟ සසඳා බැලූ විට පෙනී යන කරුනක් තමයි ශ්‍රී ලංකාවට බුදු දහම පැමිනීමත් සමඟ ඊට පෙර පැවති ආගමික සහ අධ්‍යාත්මික ඇදහිලි වන පත්තිනි, දැඩිමුන්ඩ වැනි විශ්වාසයන් වලට කිසිදු හානියක් නොවුන බව. එයින් පැහැදිලි වන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ එතරම් හානිකර ආගමික සහ දේශපාලනික සම්බන්ධතාවයක් නොතිබූ බව.
 
නමුත් අද වන විට තත්වය බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. අපේ රටේ ඕනෑම දේශපාලනික පක්ශයක් පිලිගන්නා කාරනාවක් තමයි ඡන්ද දායකයින් බෞද්ධ, මුස්ලිම්, කතෝලික ලෙස වර්ග කර දැක්වීම. මෙසේ කිරීමේ අවශ්යතාවයක් ඇති වන්නේ දේශපාලනික පක්ශයක් වශයෙන් ජනතාව දිනාගැනීමට ඒ ඒ ආගම් අදහන මනුශ්‍යයින්ට වෙනස් වෙනස් ආකාර වලින් සැලකීමට සිදු වීම. මේ කාරනයේදී අපට එක් දේශපාලනික පක්ශයකට පමනක් ඇඟිල්ල දික් කරන්නට බැරි වී තිබෙන්නේ මෙය අප නොදැනුවත්වම කාලයක් තිස්සේ ඇති වූ ප්‍රවනතාවක් නිසා මෙන්මඒම ප්‍රවනතාවයෙන් එක් පක්ශයකට පමනක් එක වර ඉවත් වීමට ඇති නොහැකියාවයි.
 
ඒ වගේම වර්තමානයේ අපට දකින්නට ලැබෙන කාරනයක් තමයි දේශපාලනික කටයුතු සඳහා ඉහල පෙලේ ආගමික නායකයින්ගේ මැදිහත් වීම. මුලින් මෙය ඇති වුනේ ඒ ඒ දේශපාලකයින් විසින් තමන්ට අවශ්ය දේ කිරීමට ආගමික නායකයින්ගේ අනුමැතිය ඇති බව ජනතාවට පෙන්වීමේ සහ එමගින් තමන්ගේ ක්රියාව සාධාරනීකරනය කරගැනීමේ අරමුනෙන්. නමුත් අද වන විට මේ ආගමික නායකයින් තමන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා දේශපාලකයින්ට් බලපෑම් කරන තත්වයකට මෙය පත් වී තිබේ. ලංකාවේ බොහෝ ආගම් සහ ජාතීන් සිටින නිසා එක් ආගමකට විශේශත්වයක් දැක්වීමෙන් තවත් ආගමක් ඊට අනුරූප විශේශත්වයක් ඉල්ලීමට පෙලැඹේ. අවසානයේ මෙය දිගින් දිගටම සිදු වීම නිසා ආගමික සංස්ථා සහ දේශපාලනික සංස්ථාව අතර අන්යෝන්ය ස්වාධීනත්වයට බලපෑම් ඇති වන තත්වයකට පත් වේ. මෙහි අවසාන අවස්ථාව අපට ඉතිහාසයේ උදාහරන වලින් ඕනෑ තරම් දැකිය හැක.
 
රටක නීතිය සකස් විය යුත්තේ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ශා වන සාධාරන සමාජයක් බිහි කිරීමටයි. මනුශ්‍ය ශිශ්ටාචාරයේ ප්‍රාථමික අවස්ථා වලදී නීතිය සකස් වුනේ මිනිසුන් අදහන ආගම අනුවයි. ඒ කාලයේ මිනිසුන් ප්‍රාදේශීයව බොහෝ දුරට එකම ආගමකට යටත් වීම නිසා ආගමික පදනමකින් නීති සකස් වීම ප්‍රශ්නයක් නොවන්නට ඇත. ඊට තවත් ප්‍රධාන හේතුවක් වුනේ ප්‍රාථමික ශිශ්ටාචාර වල ආගමික ඇදහීම් සහ දේශපාලනය ඉතා තදින් බැඳී තිබුන නිසායි. ඒත් බුද්ධ කාලීන භාරතය ගෙන බැලුවොත් එය සංකීර්න වූ, බොහෝ ආගම් දර්ශන අදහන මිනිසුන් බොහෝ දුරට සාමකාමීව ජීවත් වූ කාලයක්. ඒ කාලයේ ආගමික විශ්වාස වලින් ස්වායක්ත රාජ්ය පාලනයක් දකින්න පුලුවන්.
  
වර්තමානය වන විට අපේ රටේ බොහෝ ආගම් අදහන මිනිසුන් මිශ්‍රව ජීවත් වන එවැනි කාලයක්. එහිදී එක් ආගමකට අනුව රටේ නීති සකස් වීම සාර්ථක ක්‍රමයක් වන්නේ නෑ. ප්‍රායෝගිකව දකින්නට ලැබෙන දෙයක් තමයි වෙනත් ආගම් අදහන මනුශ්‍යයන් තමන්ගේ ආගමේ ඇති නීතිද තමන්ගේ වර්ගයාට පමනක් හෝ බලපාන ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම. ලෝකයේ සියලුම ආගම් අවිහිංසාව සහ සාධාරනය නම් එකම තේමාව අනුව යන බව විශ්වාස කිරීම මිත්යාවක්. ආගම් වනාහී එකිනෙකට පරස්පර පමනක් නොව සමහර ඒවා ස්වයං ප්රස්පර වන අතර සමහර විට ප්‍රචන්ඩත්වය අසාධාරනය අනුමත කරයි. මේවා එකින් එක ගෙන විග්‍රහ කිරීම පැත්තකින් තබා මෙවැනි විවිධ ඇදහීම් දේශපාලනය කෙරෙහි බලපෑමක් කිරීමෙන් ඇති විය හැකි අනිසි ප්‍රතිඵල ගැන සැලකිලිමත් විය යුතුයි. සියලු ආගමික ඇදහීම් වලින් ස්වායක්ත නීති පද්ධතියක් සකස් කිරීම ඉතා සරල සිද්ධන්ත මත පදනම් ව කල යුතු දෙයකි. එහිදී වැදගත් ම තැනක් දිය යුත්තේ සමානව සියලු දෙනාගේම අයිතිවාසිකම් සහ නිදහස ආරක්ශා කිරීම කෙරෙහියි. සමාජයේ අනෙක් පුද්ගලයන්ගේ නිදහස සහ අයිතිවාසිකම් වලට බලපෑමක් නොවනතාක් කල් කිසිවෙකුගේ නිදහස හෝ අයිතිවාසිකම් සීමා නොවිය යුතුයි.

ආගමික ඇදහීම් මිනිසා තමන්ගේ පෞද්ගලික දෙයක් ලෙස සලකන තාක් කල්, තමන්ගේ ඇදහීම අන් අයට වලංගු නොවන බවත් අන් අයගේ ඇදහීම තමන්ගේ කාරනයක් නොවන බවත් වටහාගත් සමාජයක විවිධ ඇදහීම් ඇති හෝ නැති පුද්ගලයන්ට සාමකාමීව ජීවත් විය හැක. ආගම් දේශපාලන උපකරන ලෙස යොදාගැනීමෙන් ඒවායේ ඇති ආධ්යාත්මික හරය විනාශ වීමකට වැඩි යමක් සිදු වේ නම් ඒ තමන්ගේ ආගම වඩා බලවත් යැයි තාවකාලිකව ලැබෙන වින්දනය පමනයි. ආගම සහ දේශපාලනය/නීතිය වෙන් කිරීමෙන් කිසිම ආගමකට අයහපතක් නොවනු ඇත, මක්නිසාද ආගම් යනු මනුශ්‍යයාගේ පෞද්ගලික ජීවිතයේ කොටසක් විය යුතු දෙයකි. එවිට මිනිසාට සාමකාමීව තමන් කැමති ආකාරයේ ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට තරම් සංහිඳියාවක් ඇති වනු ඇත.
Comments