මුස්ලිම් අන්තවාදය සහ සිංහල ගෝත්‍රවාදය

This is a response to the blog-post කොලූ ගේ වල්බූරු නිදහස

පෙරමුණෙ රාළගේ අටුවාවේ සටහන් තැබීම මා අත්හැරියේ මෙම අඩවිය ගෝත්‍රිකවාදී මානසික රෝගීන් ගෙන් පිරුනු නරාවලක් මිස, බුද්ධිමය සංවාදයට සුදුසු තැනක් නොවන බව හැඟී ගිය නිසාය. ගවේෂනාත්මක දත්ත සහිතව රචනයේ යෙදෙන පෙරමුනේ රාළ ගැන මට කිසියම් පැහැදිමක් ඇත. නමුත් මෙහි එන අනෙකුත් රචකයන් හෝ කමෙන්ට් දමන අඩවියේ පාඨකයන් ගැන නම් කිසිම පැහැදීමක් නැත. කෙසේ වුවත් නිර්-රාමුගේ මෙම ලිපියේ මාගෙ නමද සඳහන් වී ඇති බැවින් සුලුවෙන් යමක් පැවසීමට සිතුවෙමි.   මගේම කියා බ්ලොග් අඩවියක් නොමැති මම අනුන්ගේ බ්ලොග් අඩවි තුල කමෙන්ට් හරහා මාගේ අදහස් ප්‍රකාශ කරමි. එය මාගේ කලාවයි. එබැවින් සමහරවිට පෝස්ටයට යන්තමින් සම්බන්ද කොනක් මුල්කොටගෙන මාගෙ "මැක්කාගේ කතාවට" බැසීමද මාගේ කලාවේ කොටසකි. එබැවින් මාගේ ඇතැම් කමෙන්ට් මුල් ලිපියට එතරම් සම්බන්ධයක් නොමැති පැති කරා ගලායන බව පිලිගනිමි. කොලූ ගේ ඉහත සඳහන් ලිපිය තුලද සිදුවී ඇත්තේ එයයි.

විචාරශීලි සංවාදයේ කැමති බ්ලොග් කරුවන් තවත් බොහෝ සිටිය හැක. නමුත් කමෙන්ට් කිරීම සඳහා මම නිතරම යන අඩවි දෙකක් තිබේ. එකක් ටැබූ ගේය අනෙක කොලූ ගේය.මේ දෙදෙනාම මාගෙ "මැක්කාගේ කතාව" ඉවසා කමෙන්ට් approve කරයි. මේ දෙදෙනාම යම්තාක්දුරකට මා පෙනීසිටින මතවාදය ගැන එකඟවේ. නමුත් ඊට වඩා වැදගත් දෙයනම් මොවුන් දෙදෙනාම ඉතා මුහුකුරා ගිය විචාරශීලි මිනිසුන් වීමයි. ඔවුන්ගේ බොහෝ පාඨකයින්ද එවැනිවේ.

නිර්-රාමු මාගෙ "මිෂනාරි සලකුනක්" ගැන කියයි. ඒ කියන්නෙ කුමක්ද කියා මට පැහැදිලි නැත. මට එක්තරා mission එකක් නම් තිබේ. එනම් කල්ලිවාදී, ආගමවාදී, පසුගාමි, අතීතකාමී වැඩවසම් ගෝත්‍රික හැව ඉවතලා ප්‍රගතිශීලි නූතනත්වය තුල මිනිසුන් වීමට කැමති පුද්ගලයන්ට මතවාදිමය උදව්වක් ලබාදිමයි. ඒ අර්ථයෙන් මම "මිෂනාරි" නම් නිර්-රාමුද මිෂනාරී වේ. ඔහුගේ mission එක නම් ගෝත්‍රික හැව අත්හරිමින් සිටි සමාජයක පුද්ගලයන් නැවත හැව අතුලට ගැනීමයි.

කෙසේ වුවත් නිර්-රාමු හා පෙරමුණේ රාල ඇතුලු පිරිස මේ දේවල් කරන්නෙ යහපත් අරමුනකින් වීමටද ඉඩ ඇත. ඔවුන් සිතන ආකාරයට ලංකාව තුල යහපත් සමාජක් ඇති කිරීමට නම් නූතනත්වය හෝ වෙනත් සංස්කෘතීන් හෝ අන්තගාමි ආගමිකයන් මතුවීම වලකා ඔවුන්ට දරුනු ප්‍රහාර එල්ල කලයුතුය. මේ දේ කල හැක්කේ සිංහල බෞද්ධයන් කල්ලිවාදය කරා උසිගැන්වීමෙනි. මම නොයෙකුත් තැන්වල නොයෙකුත් ආකාර වලින් මීට පෙර කියා ඇති අන්දමටම, මෙම ක්‍රමය කිසිදා සාර්ථක නොවන failure model එකකි. මුලූ ලෝකයම මුස්ලිම් කිරීමෙන් පසු ලෝකයේ සියලු ප්‍රශ්න විසඳේ යයි සිතා සිටින මුස්ලිම් අන්තවාදීන්ද අනුගමනය කරන්නෙ මෙම failure model එකයි. හොඳින් හෝ නරකින් මුලු ලෝකයම ඉස්ලාම් දහමට හැරවූවායයි සිතමු. ඉන්පසු වන්නෙ කුමක්ද?

බේරුවල පැත්තේ මුස්ලිම් පල්ලියක මීට වසරකට පමන පෙර වූ ගැටුමට හේතුවූයෙ සලාත් කරන විට ඇඟිල්ල සෙලවීම කල යුතුද නැද්ද යන මතයම මත දෙකට බෙදුන කල්ලි දෙකක් නිසාය. කල්ලිවාදී, පීඩකවාදි, කලහකාරි මානසිකත්වයක් තුල මතවාදියමය් වශයෙන් තාවකාලිකව එක්වු පිරිස් තුල එම සාමුහිකත්වය සැමදා පවතින්නේ නැත. "පොදු සතුරා" පරාජය කල පසු ඔවුන් තුල වූ එකමුතුව ක්‍රමයෙන් මැකීගොස් මතවාදීමය ලෙස බෙදී අලුත් "සතුරන්" සොයාගනී. සටන් විරාම කාලයේදී LTTEය දෙකඩවී උතුරු දෙමලුන් හා නැගෙනහිර දෙමලුන් ලෙස පිල්බෙදී මරාගැනීමත්. පිරබාහරන් මල පසු ජනරාල් හා මහින්ද පිල් ලෙස දකුනේ සිංහලයන් බෙදී ගහ මරා ගැනීමත් හොඳ උදාහරණ වේ.

තම දෑස් ඉදිරිපිට සිය ආදරණීය පියා වෙඩි තබා මාරා දමනු දුටු දරුවෙකුගේ මානසිකත්වය ගැන සිතන්න. මෙම මරාදාමීම කලේ LTTE-රජයේ හමුදා ගැටුමක් නිසාද, සිංහල-දෙමල ගැටුමක් නිසාද, පිරබාහරන්-කරුනා ගැටුමක් නිසාද, ජනරාල්-මහින්ද ගැටුමක් නිසාද යන්න වැදගත් නොවේ. වැදගත් වන්නේ සමාජයෙ කුරිරු කම් නිසා මිනිසුන් වද වේදනා වලට ලක්වෙන බවයි.

තවත් යමක් කිව යුතුය. නලින් ද සිල්වා ප්‍රමුක අතීතකාමින් ලංකාවෙ සින්හල බෞද්ධයන්ව ලිඳේ සිටින ගෙම්බන් බවට, පත්කොට වැඩවසම් මානසිකත්වයකට හුරුකරමින් පවතී. ඇත්තටම මේ ව්‍යායාමය තාවකාලිකව හෝ තරමක් සාර්ථකවී ඇත. අතීතකාමයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාවෙ තරමක වැඩිවීමක් මෑතකදී පෙන්නුම් කරයි. කෙසේ වුවත්, පුලුල් සමාජයක මිනිසුන්ගේ සිතිවිලි පරිණාමය වීම වැලැක්විය නොහැක. මධ්‍යත යුගයේ යුරෝපීය සිවිල් සමාජය තුල තිබූ කතෝලික පල්ලියේ අයෝමය හස්තය පරයා නිර්-ආගමික හර පද්ධතීන් (secular value systems) ඉස්මතු විය. මෙම ක්‍රියාවලිය තුලදී මිනිසුන් අනේකවිධ හිංසා පීඩා වලට ලක්විය. පල්ලියේ නියෝග මත ගින්නෙන් පිලිස්සූ පිරිමින්/ගැහැනුන් ගනන අපමනකි.  මධ්‍යතන යුගයේ පැවති අධිපතිවාදී වැඩවසම් සංස්කෘතීන් බිඳවැටුන අයුරින්ම දැනට ලෝකයේ අහුමුලු වල පවතින පසුගාමි සංස්කෘතීන් (උදා. මුස්ලිම් සංස්කෘතිය) බිඳවැටී වඩාත් යහපත් සමාජයන් බිහිවීම වැලක්විය නොහැක. මේ ක්‍රියාවලිය ඉක්මන් කල හැක්කේ බහුතර ජනතාව නූතන හර පද්ධතීන් තුලට ගෙන, වැඩවසම් ආගමික අතීතකාමයෙන් ඔවුන් මුදාගැනීමෙනි. පෙරමුනේ රාළ ඇතුලු පිරිස නොකරන්නේද එයයි.

දැන හෝ නොදැන පෙරමුණේ රාළ සේවය කරන්නේ අතීතකාමී එබ්‍රහමික සංස්කෘතීන්ටය. කොලූ ඇතුලු ප්‍රගතිශීලී සිංහල බ්ලොග් කරුවන් බටහිර NGO ඒජන්තයින් යයි අභූත චෝදනා නගන පෙරමුණේ රාළ ඇතුලු නඩය කරන අයුරින්, පෙරමුණෙ රාළ ඇතුලු පිරිස මුස්ලිම් කුමන්ත්‍රනයක සවිඥානික කොටස්කරුවන් යැයි අපි නොකියමු. එනමුත් සිදුවන්නේ එයයි.

පෙරමුණේ රාල ඇතුලු පිරිස කරන අයුරින් පහත් වාග්විලාශයෙන් මුස්ලිම් ආගමට සහ එම සංස්කෘතියට පහර ගැසීමෙන් වෙන්නෙ කුමක්ද? මේවා කියවන මැදහත් මුස්ලිමුන් සිය සංස්කෘතියේ අඩුපාඩු වටහාගෙන 'සින්හල බෞද්ධ' බවට පත්වේද? අන්තවාදී මුස්ලිමුන් තවත් සිය අන්තවාදී මතවාදය මුවහත් කරමින් කල්ලිගැසීමට උඩගෙඩි දීමක් මිස වෙනත් කිසිම යහපත් ප්‍රවනතාවයක් මෙයින් අත්නොවේ.

උදේ හවස 'සිංහල බෞද්ධ' මන්තරය ජපකරමින්, සින්හල බෞද්ධයන් ප්‍රමුකවී, අනෙකුන් දෙවන ගනයේ පුරවැසියන් බවට පත්කෙරෙන රාජ්‍යක් කරා ගමන් කිරීමෙන් සිදුවන්නෙ කුමක්ද? සිංහල-බෞද්ධ නොවන අනෙකුත් සියල්ලන්ම සිය ආගමික-සංස්කෘතික ගොලුබෙලි කටු තුලට තවතවත් රිංගාගැනිමයි. ඔවුන්ගෙන් රාජ්‍යට දායකත්වයක් නොමැතිවීම මෙහිදි විය හැකි අඩුම අනතුරයි. ආගමික-සංස්කෘතික දෙශපාලන කල්ලි හරහා රජයට බලපෑම් කොට සිය ආගමික-සංස්කෘතික වුවමනා-එපාකම් රාජ්‍යයෙන් ලබාගැනීම ඊලග අනතුරයි. විදෙස් ආධාර හරහා රාජ්‍යයට වින කිරීමේ කුමන්ත්‍රන මෙහි විශාලම අනතුරයි.

විදෙස් බලවේග හරහා රජ්‍යට වින කිරීම දෙතුන් දෙනෙකු එකතුවීමෙන් කල නොහැක. පවතින ක්‍රමය තුල තමන්ට අසාධාරනයක් වී ඇතිබව හා අනාගතයේදී තමන්ට විශාල අනතුරක් විය හැකිබව පෙන්වා බිය ඇතිකිරීම තුලින් විශාල පිරිසක් මෙවැනි කුමන්ත්‍රනයක කොටස්කරුවන් කරගත හැක. 83 කලූ ජූලිය හරහා ගොඩනැගුනු පදනම තුල දෙමල ජනතාව LTTEය කරා තල්ලුවී ගිය අයුරු අපි කවුරුත් දනිමු. මුස්ලිම් ජනතාව මෙවන් අන්තයක් කරා තල්ලු කිරීමෙ පිඹුරුපත් සකස්ව ඇත. http://peramunerala.wordpress.com, http://mohomad.blogspot.com වැනි අඩවි හරහා සිංහල බෞද්ධයන් ප්‍රකෝප කොට ඔවුන් මුස්ලිමුන්ට විරුද්ධව උසි ගැන්වීමෙන්, 83 කලු ජූලිය වැන්නක් නිර්මානය කොට, බොර දියේ මාලු බෑමට යම් පිරිසක් කැස කවනු පෙනේ.

මුස්ලිම් හෝ, ක්‍රිස්තියානි හෝ, හින්දු හෝ, බෞද්ධ හෝ වන අන්තවාදින් ඔවුන්ගේ අන්තවාදී මානසිකත්වයෙන් මුදවාගෙන, සමාජයේ ප්‍රධාන ප්‍රවාහයට එකතුකරගෙන, ඔවුන් රටෙ සුබසිද්දිය සඳහාවන වැඩකටයුතු වලට හවුල් කොට ගැනීමට නම් සමාජය තුල පවතින ප්‍රධාන ප්‍රවාහය ලෞකික (secular)‍ විය යුතුය. සංවර්ධනය කරා සීග්‍රයෙන් ගමන් කරන සියලු රටවල රාජ්‍යත්වය සහ ප්‍රධාන සමාජ ධාරාව ලෞකික වේ. අභ්‍යන්තර ආරවුල් වල පැටලී අසමත් රාජ්‍ය (failed state) බවට පත්වන බොහෝ (සියලු?) රටවල ප්‍රධාන ප්‍රශ්නය නම් ආගමික-සංස්කෘතික අධිපතිවාදි ප්‍රධාන ප්‍රවාහයයි.

සෙකියුලර් ශ්‍රි ලංකා අඩවිය (http://www.secularsrilanka.com) තුල සියලු ආගමික මතවාද තාර්කික සංවාදයකට හා විවෙචනයකට ලක්කෙරේ. එනමුත් එහි ප්‍රධාන අරමුන ආගමිකත්වයට පහර ගැසීම නොව, ලෞකික ප්‍රධාන ධාරාවක් බිහිකිරීමට විරුද්ධවන ආගමික අන්තවාදය ප්‍රශ්න කිරීමයි. පෙරමුණේ රාල සත්‍යවශයෙන්ම නිර්-ආගමික නම්, ඔහුගේ අරමුණ කල්ලිවාදි ලෙස ආගමිකත්වය ඇවිස්සීම නොවේ නම්, සෙකියුලර් ශ්‍රි ලංකා අඩවිය හා එක්වී නිර්-ආගමික පදනමක සිට ඔහුට ඔනෑම ආගමක් තාර්කික ලෙස විවේචනය කිරීමට හැක.

1972 ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීය රාජ්‍යය බුද්ධාගමට ප්‍රමූබස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බව පිළිගැනිණි. ලෞකික ප්‍රධාන ප්‍රවාහයක් (secular mainstream) ඇතිකිරීමට රාජ්‍යයේ කැපවීම මෙමගින් ඉවත් කර දැමින. මෙම කරුන පාදක කොටගෙන අනෙකුත් සුලුතර ආගම්ද සිය මතවාද හා නොයෙකුත් ආගමික අවශ්‍යතා සඳහා රජයේ බර යෙදවීම අවශ්‍ය බව සිතති. සිය මතවාද වලටද සමතැන හෝ අඩුගනනේ නිසිතැන නොලැඹිම ගැන මැවිසිලි නගති. දෙශපාලකයන් මෙම මැසිවිලි සහගත වාතවරනය ඡන්ද ලබගැනීමේ උපක්‍රමයක් ලෙස දිගු කලක සිට භාවිතා කරති (භේද කොට පාලනය කිරීම - divide and conquer) දේශපාලඥයින් විසින් ආගම් අයුතුලෙස පාවිචිකිරීම වැලැක්වීමේ කාලය  පැමිණ ඇත. ආගම් ලැදි පුදගලයන්ට නිදහසේ ඔවුන්ගේ ආගමිකත්වය පෞද්ගලිකව පවත්වාගනීමට හා පොදු නීතිය, රාජ්‍ය ප්‍රතිපත්ති, සංවර්ධන කටයුතු ආගමික බලපෑමෙන් තොරව ලෞකික පදනමකින් ඉදිරියට යාමට, ආගමිකකරණයට යටපත් නොවූ ලෞකික  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ගොඩනැගීම අපේ අරමුනයි.
Comments