ආගම රාජ්‍යතන්ත්‍රයේ වැට පැනීම

Regulating Religion
ආගම හා එහි සංකල්ප නිරන්තර ප්‍රශ්නකිරීම් වලට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුල පැවතීම වැදගත් වන්නෙ ඇයි? මෙවන් සංවාද පැවතීම නිසා ආගම සමාජයෙන් තුරන් වී යාමෙ තර්ජනයක් තිබේද? 

සුරාව, සූදුව, වෛශ්‍යා වෘත්තිය සහ ආගම කිසිදිනෙක සමාජයෙන් ඉවත් කල නොහැක. ලොකයේ බොහෝ රාජ්‍ය කිසියම් හෝ කලෙක මේවා බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත (උදාහරණ: ඇමරිකාව, රුසියාව, චීනය). මෙම උත්සාහයන් සාර්ථක නොවීය. තහනම් කලවිට මෙවා පාතලයට යයි. සෑම රටකම ඇති වෛශ්‍යා වෘත්තිය සහ චීනයෙ ඇති 'පාතාලයෙ ආගම්' බලන්න. එනමුත් සුරාව, සූදුව, වෛශ්‍යා වෘත්තිය සහ ආගම සීමන්තිකව දෝරේ ගලන්නට පටන්ගත්හොත් රටක සමාජ ආර්තික ව්‍යුහය බිඳ වැටේ. භාවිත කිරීමේ නෛතික නිදහස ලබාදෙන ගමන්, එක්තර සීමාවලින් පිටට නොපැනීමට වැටවල් ගසා මෙවා පාලනය කල යුතුය.

ආගම සිය සීමාවන් තුලින් පිට පැනීම පාලන කිරීමට නම් ආගමික මානසික වහල් භාවයෙන් මිදුනු, සදාචාර සම්පන්න, විවෘත මනසකින් යුතු පුද්ගලයින්, අඩු ගනනේ සුලුතරයක් සමාජයක් තුල සිටිය යුතුය. මෙවන් පිරිසක් රටක නොමැති විට ආගම පාලන තන්ත්‍රය ආක්‍රමනය කරයි. මෙය වැලක්විය නොහැක. ආගම පාලන තන්ත්‍රය ආක්‍රමනය කලවිට බිහිවන්නේ, ගතානුගතික පැවත්ම අනුශාසනා කරන, පසුගාමී, අන් මත නොඉවසන, අන්‍ය ලබ්ධි අනුගාමිකයන් ගේ සහබාගීත්වයක් නැති රාජ්‍යයකි. මෙය බොහෝ විට දුර්වල රාජ්‍යකි. කෙටි කාලිනව ශක්තිමත් සේ පෙනුනද පරිණාමය වීමට නොහැකි නිසා සීග්‍රයෙන් ගරා වැටී අස්ථාවර වන රාජ්‍යකි. (උදාහරණ: ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුලු බොහෝ මුස්ලිම් රටවල්) රටක සාමාන්‍ය ජනතාව කොතරම් ආගමික වුවද, ආගමිකත්වයෙන් මිදුනු රාජ්‍යතන්ත්‍රයක් ඇති රටවල් දිනෙන් දින ශක්තිමත් වේ (උදා. ඉන්දියාව, චීනය). ආගමිකත්වයෙන් මිදුනු රාජ්‍ය ක්‍රමයක් ආරම්භයෙ තිබුනද පසු කාලීන ආගමික බලපෑම් නිසා දුර්වල වන රටකට හොඳ උදාහරණයකි ඇමරිකා එක්සත් ජනපදය. රාජ්‍යතන්ත්‍රය සහ ආගම සහමුලින්ම වෙන් කරන ලද (separation of religion and governance) ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ 1791දී ගමන් අරඹා ( see here) ඉතා කෙටි කාලයක් තුල ලෝක බලවතෙකු වූ ඇමරිකාව, සීත යුද (cold war) සමයේ සහ මෑතකදී බුෂ් පාලනය යටතේ තරමක ක්‍රිස්තියානි ආගමික ආක්‍රමයකට නතුවිය. අද ඇමරිකාව කලින් පතුරවා ගත් සිය පුරාණ බල පරාක්‍රමය නිසා එක්වරම නොපෙනුනද, සීග්‍රයෙන් දුර්වල වන රාජ්‍යයකි.

ආගමික මානසික වහල් භාවයෙන් මිදුනු, සදාචාර සම්පන්න, තාර්කිකව සහ විවෘත මනසකින් යුතුව තීරන ගැනිමේ හැකියාවක් ඇති, පුද්ගල පිරිසක් සමාජයක් තුල ඉබේ බිහිවෙන්නේ නැත, රටක අධ්‍යපනික ආයතන, ජනමාධ්‍ය තුල ආගම ඔසවා තැබීම පමනක් වෙන්නෙ නම්, හා ආගම යනු හැම පුද්ගලයෙකුම තුල තිබිය යුතු අනිවාර්ය පොදු සාධකයක් ලෙස හුවා දක්වීම පමනක් වෙන්නේ නම්, රටේ ලමා පරපුර ආගමින් මත්ව මාසික වහලුන් ලෙස තරුණ දිවියට පිවිසේ. මෙය වැලක්වීමට අපි කුමක් කල යුතුද? ආගමික නොවන හර පද්ධතීන් (value systems) පැසල් වල ඉගැන්වීම, හා ආගම හා එහි සංකල්ප නිරන්තර ප්‍රශ්නකිරීම් වලට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුල පැවතීම මගින් වඩාත් ප්‍රගතිශීලි සමබර වට පිටාවක් නිර්මානය වේ.

සුරා විරෝධී වැඩපිලිවෙලවල් කොතරම් තිබුනද, පාසැල් දරුවන් සුරාවෙන් එවත් කිරීමට කොතරම් උත්සාහ කලද සුරා පානය සමාජයේ ජන ජීවිතයේ ප්‍රධාන අංගයකි. නක්ෂශ්ත්‍රය පාසැල් තුල ඉගැන්වීම නොකලද, එය සමාජයෙ හැම වැඩකටම සම්බන්ධවන අනිවාර්ය අංගයකි. ආගමත් මෙසේමැයි! එය පාසැල් වල විශය නිර්දේශයෙන් ඉවත් කලද, ආගම් වල ඇති හර පද්ධතීන් ප්‍රශ්න කරන ශාස්ත්‍රීය සංවාද මාධ්‍ය තුල ඇතිවුවද, එය සමාජයෙන් ඉවත් වේ යයි බියක් ඇතිකරගත යුතු නැත.

කොටින්ම කියතොත් සමාජයක ආගමට සහ සුරාවට එකම සැලකීම ලබා දිය යුතුය. මේ දෙකම සමාජයෙන් සම්පූර්නයෙන් ඉවත් කල නොහැක. එසේ බලෙන් ඉවත් කිරීමට යාම නිසා භයානක ප්‍රතිපල අත්වේ. මීට අවුරුදු අසූවකට පම පෙර ඇමරිකා එක්සත් ජනපදය හා තවත් බටහිර රටවල් කිහිපයක් සුරාව සම්පූරනයෙන්ම නීති විරෝධ් කිරීම නිසා ඇතිවූ තත්වය අපි දනිමු. ( see http://en.wikipedia.org/wiki/Prohibition_in_the_United_States) එමෙන්ම චීනය හා රුසියාව ආගම බලෙන් සමාජයෙන් එවත් කිරීමට ගත් වෑයමටත් අත්වූයේ, ඇමරිකාව සුරාව සපුරා තහනම් කොට සමාජයෙන් ඉවත් කිරීමට ගත් වෑයමට අත්වූ ප්‍රතිපලය මැයි.

සංස්කෘතියක නොයෙකුත් රසවත් සෞන්දර්යාත්මක/ආධ්‍යාත්මික  පැතිකඩවල් ඇතිවීමට සුරාව මෙන්ම ආගම නිසාද දායකත්වයක් ලැබේ. ආශ්චර්යමත් සංගීත, කලා හා ශාස්ත්‍රීය නිර්මාන බොහොමයක් බිහිව ඇත්තේ එක්කෝ සුරාවෙන්, එක්කෝ ආගමින්, නැතහොත් මේ දෙකෙන්ම 'මත්වූ' මිනිසුන් ගෙනි.

ඔබ සුරාව සමාජයෙන් සපුරා ඉවත් කිරීමට විරුද්ධ පුද්ගලයෙකු යයි සිතමු. එසේ වූවද සුරාවේ ආදිනව ගැන කතාකරන සංවිධාන සහ වැඩමුලු නොතිබිය යුතු යැයිද, ඒ ගැන සමාජය තුල කතිකාවක් ඇතිවිය යුතු නැතයිද කියා ඔබ සිතන්නේ නැහැ නොවේද? ආගම සාමාජයෙන් ඉවත් නොකල යුතු දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ආගමට විරුද්ධව ඇතිවෙන සංවාද ගැනත් කිව යුත්තේ ඔය ටික මැයි. සුරාවට ඇබ්බැහි නොවූ මිනිසුන් රාශියක් රටකට අවශ්‍යවන්නේ යම්සේද, ආගමකට ඇබ්බැහි නොවූ මිනිසුන්ද ස්වල්පයක් වත් රටක පැවත්ම සඳහා අවශ්‍යයි.  මේ මිනිසුන් ස්වල්පය පවත්වාගැනීම වෙනුවෙන් කරන සංවාද ගැන බිය නොවන්න.

[ ප.ලි.: සමාජය තුල සීම සහිතව හා අඩු වැඩි වශයෙන් කිසියම් පාලනයක් ඇතුව තිබිය යුතු දේවල් ලෙස මා මේ ලිපියේ  සඳහන් කරන ආගම, සුරාව, සූදුව, හා වෛශ්‍යා වෘත්තිය අතරට 'ස්වෝත්තමවාදි ජාතිකත්වයද' අලුතින් එක් කිරීමට කැමැත්තෙමි. මේ සියලු දේවල් පුද්ගලයන්ගේ අත්‍යාවශ්‍ය මානසික අවශ්‍යතා සපුරාලයි. හැම දෙනාටම මේ හැම දෙයක්ම අවශ්‍ය නොවේ. නමුත් බොහෝ දෙනාඅට මේ සමහර දේවල් යම් මොහොතක අවශ්‍යවේ.  මේ අවශ්‍යතා සපුරාගැනීම නොහැකිවීම නිස අනන්‍යතා අර්බුද ඇතුලු නොයෙකුත් මානසික ව්‍යාධීන් හට පුද්ගලයන් නතුවිය හැක.]
Comments