නලින් ද සිල්වා හඳුනාගැනීම


This note is added on 7th June 2011 after referring to Nalin De Silva's speech in the following link

http://uploads.kalaya.org/files3/110526_008_budunge_deshayata.mp3

නලින් ද සිල්වා යනු ස්කිට්සොෆර්නියාවෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු යැයි මුල සිටම විශ්වාස කල පුද්ගලයන්ට, නලින් ගේ මේ නවතම "සොයාගැනීම්" ඔහුගේ රෝග තත්වයේ උත්සන්න අවස්ථාවක් පමනක් සනිටුහන් කරයි. කෙසේ නමුත්, දශක දෙකට ආසන්න කාලයක් ඔහුගෙ මතවාද හදාරමින්, එම මතවාද සමග මට හැකි අයුරින් ගැටෙමින්, ඔහු ඵල ඇති රුකක් සේ සලකා එයට (සද්භාවයෙන් යුක්තව) ගල් මුල් එල්ල කල මා වැන්නවුන් ඔහු මෙහිදී අතරම්ං කර දමයි. තව දුරටත් ඔහු legitmate target එකක් නොවේ. ඔහුගේ දර්ශනය විවරනයට ලක්කිරීම තුලින් තවදුරටත් ඵලදායී සංවාදයක් ඇති කල නොහැක.

දශක දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ "නිර්මාණාත්මක සාපේක්ෂතාව" නිර්මානය කරමින් ගතකල සිල්වා ඇදුරු තුමා අන්තිමට නතර වන්නේ දෙවියන් සමග කතාබහ කරමින් තෙල් බේත් කරන වෙද හාමිනේ කෙනෙක් ලඟය. අපි දැන් එතුමාගෙන් වර්තමානයේ අසන සියලු සත්‍යය එන්නේ මෙම වෙද හාමිනේගේ කටිනි. ඉදිරි වසර ඇතුලත බටහිරයන් ලංකාවට මිසයිල් ප්‍රහාර එල්ල කරන බව කියන්නේද මෙම වෙදහාමිනේ සමග කතාකරන සිල්ලර දෙවියෙකි. දැන් මෙතුමා හතර අතේ එල්ල කරන මේ අනාවැකි එකක් දෙකක් හෝ සත්‍ය වීමට බොහෝ ඉඩ ඇත. ඉහත සඳහන් කතාව තුලදීම එතුමා අනාගත සිද්ධීන් බර ගානක් සිදුවන අයුරු කියයි. ලංකාව තුල "සිංහල බෞද්ධ" සායි බාබා කෙනෙක් නිර්මානය කරගැනීමට මෙයින් එකක් දෙකක් සත්‍යය අසලින් ගමන් කිරීම පමනක් ප්‍රමානවත් වේ. මට පලකල හැකි අනවැකියක් නම් මෙයයි. එදාට කවුරු නාවත් සචින් තෙන්දුල්කාර්නම් උරහිසේ ආබාධයට බේත් ගැනීම සඳහා සිය පෞද්ගලික ජෙට් යානයේ නැගී මෙහි එනු ඇති. 

දැන් අපට කලහැකි එකම දෙය තව මාස ගනනකින් ඔහු අපිට හෙලිකිරීමට සූදානම් වන සිංගල බෞද්ධ පදනමකින් එන මහා "මැජික්" ඥාන සම්භාරය අපට බෙදා දෙන තුරු බලාසිටීම පමනි. ඔහු මෙය තව මාස ගනනකින් කිරීමට හැකි යැයි පැවසීම අපගේ වාසනාවකි. නැතිගම් තව දශක ගනනාවක් යනතුරු මේ හිස් සංවාදය කරගෙන යාමටත්, මාගෙ කාලය තව දුරටත් මේ සඳහා වැයකිරීමටත් සිදුවීමට ඉඩ තිබිනි. බොහෝ කල් යොදවා මා ලියූ පහත ලිපිය ගැන මට කීමට ඇත්තේ මෙපමනයි "ජලය අපතෙ"

මාස කිහිපයක් තිස්සේ සෙමින් ලියැවුන මගේ පහත ලිපිය නලින් ද අන්තර්ජාලය ඔස්සේ වරින් වර කියවා ඇති බව (හෝ නැතිනම් ඔහුගේ පෞද්ගලික දෙවියා විසින් කියවා ඔහුට වාර්තා කර ඇති බව) මට පසක් වූයේ ඔහු මා නැගු කාරනා කිහිපයකටම පිලිතුරු දෙන අයුරින් විදුසරේ පලකල ලිපි කිහිපයක් නිසාය. එම ලිපි තුලද ඔහු මා බටහිර විද්‍යාවෙ සේල්ස් රෙප් "ගල් පඬියෙකු" මිස වෙනත් ලෙසකින් දුටුවේ නැත. එක්දාස් නමසිය ගනන් වලදී නලින් සැබෑ අවංක බවකින් යුක්තව සිය මති මතාන්තර ඉදිරිපත් කලේ, අයින්ස්ටයින්, නීල්ස් බෝර් වැනි බටහිර සැබෑ පඬුවන්ට නිසි ගෞරවය ලබා දෙන ගමන්ය. නමුත් දෙදාස් ගනන් එලැබීමත් සමඟ ඔහුගේ අවංක භාවය වැලලී ගොස් වචන හරඹයක් පමනක් කරන දේශපාලන චරිතයක් බවට පත්විය.

නලින් ගේ ප්‍රශ්නය හා ඔහුගේ සේල්ස් රෙප් උපක්‍රමයද මට වැටහෙයි. ගිගා බයිට් ගනන් ලිපි ලිව්වද මා වැන්නෙකුට නූතන දැනුම් පද්ධතිය නැමැති විශාල ගසේ ඇසට වත් නොපෙනෙන කුඩා අංකුරයක් වීමට මිස, ලෙහෙසියෙන් එහි ලොකු අත්තක් වීමට නොහැක. අවංක වූවා නම් නලින් ද නූතන දැනුම් පද්ධතිය යන විශාල ගසක කුඩා අත්තක් පමනි. නමුත් ඔහු දැන් ජාතික චින්තනය යන කුඩා පැලයක මූල අංකුරයයි. ඔහු විශාල ගසට කොන්දෙසි විරහිතව ගරහන්නේ එය ඔහුගේ සේල්ස් රෙප් උපක්‍රමය නිසාය.

"Like some of the 'western' and 'middle-eastern' religious fanatics, who think science is a threat to their religion, who are waiting for the Apocalypse, now you have asked your fan-base to wait for the collapse of western science. Good luck! and by the way, if it does not collapse by itself, lending credibility to Sinhala Buddhist Chinthanaya; do you think we should hijack planes full of passengers and crash them in to places where advancedment of Judeo-Christian science takes place?"This post is a response to Prof. Nalin De Silva's articles on Divina

http://www.divaina.com/2011/01/09/nalin.html (with direct commentry on 2012 'apocalypse')

නලින් ද සිල්වා මහතා සිංහල බෞද්ධ සංස්කෘතියට ගෝචර ලෙස වූ 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' නමින් වු අලුත් සංකල්පයක් හරහා අලුත් දැනුමක් ගොඩ නැගීමට අඩිතාලම් දමා ඇතිබව එතුමන්ගෙ ගෝල බාලයන් නැවත නැවත පවසයි. සිල්වා මහතාගෙ පොත් පත් හා එතුමාගෙ සංකල්ප පරිශීලයන කර ඇති, සහ එතුමා සමග සංවාදයේ යෙදී ඇති මම එතුමාට තවමත් ගරු කරමි. ලංකාව තුල එතුමා තරම් ස්වාධීනව මත පලකරමින් අපට හිතන්නට පෙලඹවූ වෙනත් අයෙක් මට කල්පනා නොවේ. එතුමා ගේ මග පෙන්වීම යටතේ ගොස් "දැනුමේ ස්වභාවය" (nature of knowledge) පිලිබඳවූ ontology සහ epistemology යන විශයන් හැදෑරුවෙමි. එතුමා නොවන්නට ඔය වචන දෙක ගැන මේවන විට මෙලෝ හසරක් මම නොදැනීමට බොහෝ ඉඩ තිබුනි.

නලින්ගේ මතිමතාන්තර උඩින් පල්ලෙන් අසා, "මූට පිස්සු" කියා එතැනින්ම ඉවත් වෙන පිරිසක් ඇත. නමුත් එයට හේතුව ඔවුන් ඥාණ විභාගය පිලිබඳ(epistemology) සංකල්පය නොදැනීම සහ වාස්තවික යථාර්තයක් (objective reality) පිලිබඳව මිස නිරීක්ෂකයා සහ නිරීක්ෂනය එකතුවීමෙන් සෑදෙන සහබාගීත්වයෙ යථාර්තය (observer-created-reality /participatory world view) පිලිබඳ සංකල්පය නොදැනීමයි. අපට පැසැලෙන් උගන්වන දේ පමනක් විශ්වාස කරමින් ජීවත්වීම අභියෝගයට ලක්කරන මතවාද සාකච්ඡාකරන එතුමාගේ ව්‍යායාමය ගරු කටයුතුය.

මොනවා සම්බන්ධයෙන් එකඟ නොවූවත්, නලින් හා මම එකඟ වෙන එක් තැනක් ඇත. එනම් (නූතන)විද්‍යාව හා බුදු දහම යනු එකිනෙනෙකට වෙනස් චින්තන මත පදනම්වූ දැනුම් පද්ධති දෙකක් බැවින්, බුද්ධාගම විද්‍යාත්මක නොවන බවයි. විද්‍යාවෙ ඇති සංකල්ප ගෝචර වන්නෙ විද්‍යාත්මක ප්‍රවාද තුලින් ලෝකය දකින විටය. බුදු දහම තුල ඇති සංකල්ප ගෝචර වන්නෙ බුද්ධාගම තුලින් ලෝකය දකින විටය. එකක ඇති සංකල්ප අනෙකින් ඔප්පු කිරීමට හෝ බොරු කිරීමට යාම පදනම් විරහිතය.

වාස්තවික යතාර්ථය

සංකල්ප යනු වාස්තවික යතාර්ථයන් (objective reality, or what 'really' exists, or what is 'true') ලෙස විස්වාසකරන පිරිස්, විද්‍යාව සහ බුදු දහම අතර අතරමං වේ. විද්‍යාවෙ කියන බැවින් මහා පිපිරුම් වාදයද (big bang) ඔවුන්ට "සත්‍යයකි", බුදු දහමේ කියවෙන බැවින් හා තමන් 'බෞද්ධ' බැවින් පුනරුප්පත්තියද "සත්‍යයකි". ඉතින් සත්‍ය කිහිපයක් සමග ජීවත්වීමට නොහැකි බැවින් මේවා එකිනෙක පටලවා ඔප්පු කිරීමට හෝ බොරු කිරීමට යාමේ විසුලුව "විද්‍යාත්මක බෞද්ධයන්" නිතරම කරන විකාරයකි. උදාහරනයක් ලෙස මහා පිපිරුම් සංකල්පය ගනිමු. මෙය මහ විසාල බෝම්බයක පිපිරීමක් ලෙස සිතෙන් මවා ගැනීම විහිලුවකි. මේ කතාකරන්නේ විශ්වයේ ඇරඹුම ගැනයි. විශ්වය ආරම්භ වීමේ "සිද්ධිය" විශ්වයෙ දැන් පවතින දේ ඇසුරින් අපට සිතේ මවා ගතහැකි දර්ශනයක් (visual) නොවේ. මෙය හුදු metaphor එකක් (සිංහල වචනය නොදනිනිමි) පමනි. මීට වඩා හොඳින් මෙම සංකල්ප වල metaphor ස්වභාවය පැහැදිලි කිරීමට string theory ගනිමු. ඔබ විශ්වය හරහා ඇදෙන "නූල් කෑලි" සිතෙ මවාගැනීම් විහිලුවකි. පුනරුප්පතියද එසේමැයි. එයද සංකල්පයක් පමනි. ඉපදීම හා මියයාම වැනි අපට පෙනෙන්නට ඇති දේවල් ඇසුරින් පුනරුප්පත්තිය සිතේ මවාගැනීමත් විශ්වය හරහා ඇදෙන "නූල් කෑලි" සිතේ මවාගැනීමත් බොහෝ සමානය.

විද්‍යාව හා බුදු දහම අත අතරමං වී, මොලයේ වයර් short කරගත් "උගතෙකු" හා තර්ක කිරීමට වඩා විද්‍යාව අතහැර බුදු දහම තුලින් ලෝකය දකිනවා යැයි කියන නලින් සමග තර්ක කිරීමට, බුදු දහම අතහැර විද්‍යාව තුලින් ලෝකය දකින මා වඩාත් කැමතිය.

නලින් ගැන ලියන්නට මේ තරම් කාලයක් වැය කරන්නෙ මම ඔහුගෙ දර්ශනය 90% පිලිගන්නා නිසාත්, ඔහුගේ දේශපාලනය 90% ප්‍රතික්ශෙප කරන නිසාත්ය. ඔහුගේ දේශපාලනය යනුවෙන් අදහස් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටීම නොවේ. ඒ පිලිබඳව මට ගැටලුවක් නැත. ඔහුගෙ භයානක දෙශපාලනය නම් මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටීමයි. ඇත්තටම ඔහු ප්‍රසිද්දියේ මර්වින් වෙනුවෙන් පෙනී නොසිටී. නලින් පෞද්ගලිකව මර්වින්ට අකමැති වන්නටද පුලුවන. කෙසේ වුවත් නලින්ගේ දර්ශනය ඔස්සෙ ගොඩ නැගෙන දේශපාලන මිනුම් දඬු අනුව, අපගේ අතීත සාරධර්ම ගැන නන්දෙඩවීම, නූතන හර පද්ධතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා වැදගත්වේ. මර්වින් යනු පෞද්ගලික ජීවිතයේදි කුමක් කලත්, ජනතාව ඉදිරියේ "අතීත සාරධර්ම" ගැන දොඩවන, නලින් විසින් "බටහිර" යයි ලේබල් ගසා ප්‍රතික්ශේප කරන නූතනත්වයේ හර පද්ධතීන් (modern value systems) ගැන හාංකවිසියක් වත් නොදන්නා පුද්ගලයෙකි. බටහිර විරෝධය හා ජාතිකවාදය වැනි ව්‍යාජයන්ට මුවා වෙමින්, කලින් ඇගැයීමට ලක් වෙමින් පැවති සියලු හර පද්ධතීන් සියල්ල බටහිර සංකල්ප යයි අර්ථ දක්වමින්, තමන්ට ඕනෑ අන්දමේ විකෘතීන්ගෙන් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමෙ නලින්ගෙ ව්‍යාපාරයෙන් අවසන් ලාභය ලබන්නේ කවුරුන්ද?

[පසු සටහන: වාස්තවික සත්‍යයක් නැත, එබැවින් "දැනුම" යනු හුදු මනස්ගාතයක් පමණි යනු අලුත්ම ජාතික චින්තන සංකල්පය බව පෙනෙන්නට තිබේ. එසේ නම් මම එම සංකල්පයට 90% එකඟ බවට කලින් කල සටහන වෙනස් කිරීමට සිදුවේ.

ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරණය (Copenhagen interpretation of quantum mechanics)  තුලද වාස්තවික යථාර්තයක් නැත යන්නක් කියවෙන බව ජාතික චින්තන මතවාදීන් පවසයි. වාස්තවික යථාර්තය(absolute reality) යන සංකල්පයද සාපේක්ෂතාවයක් බැවින් එයට "ඇත" හෝ "නැත" යන නිරපෙක්ෂ අගයක් ලබාදීම පරස්පරයක් (contradiction) බව පමණි මට එකඟ වියහැකි මතය. රේඛීය චින්තනය යටතේ එය පරස්පරයක් වුවද චක්‍රීය චින්තනය යටතේ එසේ නොවන බව, එමෙන්ම රේඛීය හා චක්‍රීය චින්තන යනු එකිනෙකින් ස්වායත්ත දේවල් වන්නෙ කෙසේද යන දේවල් මට පැහැදිලි නැත. නොදන්නා දේවල් ගැන මීට වඩා අදහස් පලකල නොහැක. දන්නා දෙයක් ගැන කියන්නේ නම්, ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරණය තුල කියවෙන්නේ "යථාර්තය" යනු නිරීක්ෂකයා (observer) හා නිරීක්ෂ්‍යය (observee) එකතුවෙන් සෑදෙන නිරීක්ෂනයක් (observation) බව පමණි. එබැවින් නිරීක්ෂනයට පිටතින් නිරපේක්ෂව පවතින "ඊනියා" යථාර්තයක් ගැන කතාකිරීම් පදනම් විරහිත බව එයින් කියවේ. මේ ගැන වෙනම ලිපියක් පසුව ලියන්නට බලාපොරොත්තු වෙමි. කෙටියෙන් කියතොත් අපට පොල්ගෙඩි බිමට වැටෙන බව පෙනේ. එබැවින් පොල්ගෙඩි බිම වැටේ යන්න අපට සාපේක්ෂව යථාර්තයකි. පොල්ගෙඩ් බිමට වැටෙන්නේ ඇයි, යන ප්‍රශ්නයට උත්තර සෙවීමේදී "දැනුම" නිර්මාණය වේ. පොල්ගෙඩි බිම වැටේ යන කරුන අපගේ පද්ධතිය තුල සත්‍යයකි. මෙම සත්‍යය වෙනස්වන්නේ අපගේ නිරීක්ෂන හැකියාවේ තත්වයන් (conditions of observation) විශාල ලෙස වෙනස් කිරීමෙන් පමණි.

පොල්ගෙඩි බිම වැටේ යන්න අපිට සාපේක්ෂව සත්‍යයක් ලෙස පිලි නොගන්නා දැනුම් පද්ධතියකින් එදිනෙදා දිවියේදී වැඩක් ගත නොහැක. එමෙන්ම සාමාන්‍ය තත්ව යටතේ පොල්ගෙඩි බිම වැටෙනවා හැරෙන්නට වෙනත් ආකාරයකට හැසිරෙන්නනේ නොමැතිබවද පිලිගැනීම වැදගත්ය. පොල්ගෙඩි ඉහලට ගමන් කිරිමක් හෝ හිටිගමන් අතුරුදහන් වීමක් හෝ ගැන කිසිවෙකු පැවසුවොත් එය මනෝ විකාරයක් හෝ හිතා මතා ගෙතූ බොරුවක් බව අපි නිගමනය කරමු. එසේ වන්නේ සමූහයක් ලෙස පිලිගතහැකි මට්ටමකින් අපි එම නිරීක්ෂනය නැවත නැවත සිදුවන බව ඔප්පුකර නැති නිසාය. ඇත්තටම එහෙම දේවල් උනත් එය අපගේ ජීවිතවලට බලපාන මට්ටමකින් සිදුනොවේ. එබැවින් ඔප්පුකර පෙන්වන තුරු, "එවැනි දේ සිදුවීමට ඉඩක් නැත" යන්න ඉතා හොඳ ස්ථාවරයකි.

පොල් ගෙඩියද, මහ පොලවද, බිම වැටීම යන සංකල්පයද අපගේ මනසේ නිර්මානයක් බැවින් "පොල් ගෙඩි බිම වැටීම" යන්නේ කිසිම යථාර්තයක් නොමැතිබව පවසන දර්ශනයන් පුරාතන ඉන්දියාවේ මෙන්ම නූතන යුරෝපයේද යහමින් පැවතිනි. "නිර්මානාත්මක සාපෙක්ශතාවාදීන්" මෙම සංකල්ප වලට මනරම් සිංහල වචන යෙදීම හා ගෝත්‍රවාදී මුහුනුවරක් ලබාදීම හැරුනුකොට අන් යමක් කර ඇත්ද? යමක් කර ඇත්නම් එය මට තවමත් වැටහුනේ නැත. එය වැටහුනු දාක මා අතින් සම්පූර්ණ වෙනස් ලිපියක් ලියවෙනු ඇත.

දැනට මා දන්නා ඉතිහාසය අනුව "පරම සත්‍යයක් නැත" යන පරම සත්‍යය ඇසුරින් "මනස ඇතුලුව සියල්ල මනසේ නිර්මානවේ" යන දැනුම පාදකවූ දැනුම් පද්ධතීන් තුල ප්‍රායෝගික විද්‍යාවන් නිර්මාණයවී නැත. "පොල් ගෙඩිය බිම වැටීම සත්‍යයකි" යන දැනුම පදනම් වූ විද්‍යාවකින් අඩුගනනේ අපිට සම්බෝලයක්වත් හදාගත හැක. වාස්තවික සත්‍යයන් නැත යන අස්ථානයේ සිටින පඬිරුවන්, 'නැති' පුටුවේ වාඩිවී, අනුගේ දැනුමින් තැනූ 'නැති' සම්බෝල සමග 'නැති' පාන් කමින් සිය පනකෙංද රැකදෙන සම්බෝලය සෑදු දැනුමට ගරහනු පමනි මා මෙතෙක් දැක ඇත්තේ. නලින් ගේ දර්ශනය මෙතැනින් එහා තැනකට යන අයුරු පැහැදිලි කලහැකි පඬිරුවනක් වෙත්නම් මා මේ මුලාවෙන් ගලවාදෙනු මැනවි.

නලින් ද සිල්වා මහතාගෙ ගිරා පෝතකයන්

නලින් ද සිල්වා මහතාට කොතරම් ගරුත්වයක් තිබුනද එතුමා සහ එතුමාගෙ ගිරා පෝතකයන්[1] ගේ වැඩ පිලිවෙල ගැන මට කිසිදු පැහැදීමක් නැත. "ගිරා පෝතකයන්" යැයි කියන්නේ ගුරා කියන දෙය එලෙසින්ම පුනරුච්චාරනය කරනු මිස ඊට වඩා වැඩිදෙයක් කිරීමට අපොහොසත් වීම නිසාය. මෙතුමාගෙ ගෝලයන් විසින් අටවා ඇති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ Facebook පිටු රැසකට ගොස් විමසා බැලීමක් කලෙමි. මේ සියල්ලෙ ඇත්තේ එකම දෙයකි. බටහිර විද්‍යාව පිලිබඳ නලින් ගේ විවරනය "copy paste" කොට ඇත. කොටින්ම බටහිර චින්තනයේ හා නූතනත්වයෙ (modernity) නියමුවන් ලෙස එතුමා උදාහරන ගෙන දක්වන "ඩාවින්චි" සහ "මයිකල් ආන්ජෙලෝ" උදාහරණයට පිටින් වෙන උදාහරණයක් පවා නැත. මෙම අනුගාමිකයන් කිසිවෙක්ට එතුමාගෙ ලිපිවල අන්තර්ගතය copy paste කිරීම හැර, සිය අදහස් ස්වාධීනව ප්‍රකාශ කිරිමට අපොහොසත් වීමට හේතුව කුමක්ද? සැබෑ දැනුම් පද්ධතියකට "ශාස්තෘවරයෙක්" අවශ්‍ය නොවේ. කිසියම් කරුනක් ගැන ඔබේ අදහස ශාස්තෘගේ අදහස සමග පෑහේදයි විචිකිච්ඡාවක් ඔබට නිතරම ඇතිවන්නේ නම් එය දැනුම් පද්ධතියක් නොව ආගමක් බවයි මගේ වැටහීම.

නලින් අනුගාමිකයින් ගෙන් පොඩි ඉල්ලීමක්. පොඩි පරීක්ෂනයක් ඔබම කර බලන්න. එතුමා තවමත් අදහස් ප්‍රකාශකර නොමැති විෂය පථයක් සම්බන්ධව ඔබගේ අදහස් ගොනුකරගන්න. මෙම ව්‍යායාමයේදී, "ද්විකෝටික තර්කයය" හෝ "රේඛීය චින්තනය" භාවිතා නොකිරීමට පරෙස්සම් වෙන්න. චතුස්කෝටිකය හා චක්‍රීය චින්තනය ඇසුරින් ගලපාගත් ඔබේ අදහස, නලින් ද සිල්වා ඇදුරු තුමාගේ අදහස සමග පසුකාලිනව ගලපා බලන්න.

[පසු සටහන: මා මෙහිදී අදහස් කලේ දැනටමත් ප්‍රවාද ගොඩනැගී ඇති දැනුම් පද්ධතියක් භාවිතා කොට කිසියම් අනුමානයක් (prediction) කිරීමේදී, වෙනස් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එය කලද එකම ප්‍රතිපලය ලැබිය යුතු බවයි. එය එසේ නොවන්නේ නම් එය දැනුම් පද්ධතියක් ලෙස පිලිගැනීමට අපහසුය. තර්ක කරමින් සිටීම හැර වෙන වැඩක් ගත් නොහැකි සංකල්ප "දැනුම්" ලෙස පිලිගැනීමට මට නොහැක. ජාතික චින්තනය යටතේ මෙවන් ප්‍රවාද තවමත් ගොඩ නැගී නොමැතිනම් ඉහතකී පරීක්ෂනයද කල නොහැක. එසේ නම් චින්තන පර්ෂදය මුලින්ම කල යුත්තේ අඩු ගනනේ එක් ප්‍රවාදයක්වත් ගොඩ නැගීමය.

මට පෙනෙනා ලෙසට නලින් ගේ අනුගාමිකයන් ලෝකය බලන්නෙ එතුමාගෙ කන්නාඩිය තුලින් පමණි. එතුමාට පෙනුන දෙය හැර වෙනත් අලුත් කිසිවක් මොවුන්ට නොපෙනේ.

අතැම් චින්තන අනුගාමිකයෝ නූතන විද්‍යාව තුල එන අස්වාභාවික සංකල්ප එකින් එක ගෙන වෙන වෙන ඒවාට පහර දීමට පෙලඹෙති. ශ්‍රාස්ත්‍රීය භෞතිකය තුල එන 'නිරපේක්ෂ අවකාශය' පිලිබඳ සංකල්පය අභව්‍ය හා තෙරුමක් නොමැති මනස්ගාතයක් නොවේද යනුවෙනෙන් නලින් අනුගාමිකයෙක් මගෙන් විමසීය. ඇත්තෙන්ම ඔව්! නමුත් නිරපේක්ෂ අවකාශය යනු ප්‍රධාන ප්‍රවාදයක එන එක සංකල්පයක් පමනයි. ප්‍රධාන ප්‍රවාදයක කෑල්ලක් විතරක් අරගෙන අපිට විග්‍රහ කරන්න බැහැ. මුලු ප්‍රවාදයම සමස්තයක් වශයෙන් ගන්න ඔනේ. අනෙක් අතට "නිරපේක්ෂ අවකාශය" කියන්නේ  ශ්‍රාස්ත්‍රීය භෞතිකය (classical mechanics) තුල කෘතිමව පනවාගත් සීමාවක් පමනයි. එය "දෙයක්" ලෙස වචනාර්තයෙන් ගතයුතු නොවේ. අයින්ස්ටයින් ගේ කාල-අවකාශ ප්‍රවාදය තුල තවදුරටත් "නිරපේක්ෂ අවකාශය"ක අවශ්‍යතාවයක් නොවූ නිසා එය අත්හැර දමනු ලැබීය.

නූතන විද්‍යාව අලුත් සංකල්ප තනාගන්නේ ප්‍රවාදයක හිස්තැනක් පිරවීමටයි. සංකල්පයක් මුලින්ම තනාගෙන එය වටේ ප්‍රවාදයක් ගොඩනැගීමක් එහි සිදු නොවේ. උදාහරණයක් ලෙස අනාගතයේ ගොඩ නැගෙනවා කියන නලින් ගේ ප්‍රවාද සියල්ලම තුල "සංසාරය" කියන සංකල්පය අනිවාර්යයෙන්ම තිබේවි. මෙම "සංසාරය" කියන අභව්‍ය සංකල්පය හා නිරපේක්ෂ අවකාශය කියන අභව්‍ය සංකල්පය අතර තාර්කිකව වෙනසක් නැහැ. එකම වෙනස තමයි නලින් සංකල්ප මුලින්ම තනාගෙන (හෝ බුදු දහමින් නයට අරගෙන) ඒක වටෙ ප්‍රවාද ගොඩනැගීමට තැත්කිරීම.

නූතන විද්‍යාව තුල සංකල්ප යනු වාස්තවිකයක් නොවේ. ප්‍රවාදයක කොටසක් පමණි. අලුත් ප්‍රවාදයක් එනවිට අත්හැර දමනු මිස සංකල්ප වල එල්ලී සිටීමක් නූතන විද්‍යාවේ නැත. නලින්ගේ ප්‍රවාද ගොඩනැගෙන විට "සංසාරය" යන සංකල්පය අත්හැර දමනු ඇතැයි ඔබ සිතනවාද? ජාතික චින්තනය තුල වාස්තවික සත්‍යයන් නැතැයි පැවසුවද, අත්නොහරින සංකල්ප නම් ඇත. මෙය පරස්පරයක් නොවේද?

මීට කලින් මේ ආකාර සංවාදයකදී මට චින්තන අනුගාමිකයෙක් පැවසුවේ, ප්‍රවාදවලට පෙර සංකල්ප නිර්මාණය, රේඛීය චින්තනය තුල අභව්‍ය වුවද චක්‍රීය චින්තනය තුල එසේ නොවන බවයි. සංකල්ප වල එල්ලී සිටිමද චක්‍රීය චින්තනයේ ලක්ෂනයක්ද යන්න මම නොදනිමි.

සම්‍යක්දෘශ්ටික දෙවි දේවතාවුන්

ජාතික චින්තනය වටා රොක්වන බොහෝ දෙනා "සම්‍යක්දෘශ්ටික දෙවි දේවතාවුන්" ගැන උනන්දු වනු පෙනේ. අපගේ පුන්‍ය බලය මත යැපෙමින් ඔවුන්ට නිසිකල වැසි වැස්සවීම පමනක් නොව "ලෝක විනාශය" (බටහිරයන්ගෙ ලෝකය පමනක්) පවා සිදුකල හැකිබව එක් ගිරාපෝතකයෙකු පවසනු දුටුවෙමි. (මෙවන් පටු අදහස් ඇති ගෝත්‍රවාදීන්ට බැරිවෙලාවත් න්‍යෂ්ටික බෝම්බ කිහිපයක් ලැබුනොත් වෙන දේ අපට සිතාගත හැක). නිර්මණාත්මක සාපෙක්ශතාවාදය වාස්තවික සත්‍යයන්ගේ පැවැත්ම ප්‍රතික්ශේප කරන බැවින්. මෙහි සඳහන් "සම්‍යක්දෘශ්ටික දෙවි දේවතාවන්" වැනි සංකල්ප හා නූතන විද්‍යාවේ එන ස්ට්‍රින් තියරි (string theory) වැනි සංකල්ප අතර සෙමෑන්ටික වෙනසක් (semantic difference) නැතිවිය යුතුය. නමුත් මේ දෙවි දේවතාවන් සංකල්ප ගැන කතාකරන අතීතකාමින්ට යුදෙව් චින්තනයේ එන නිරපේක්ශ "දෙවියන් වහන්සේ" සහ සිය "දෙවියන්" අතර වෙනසක් ඇතිබවක් නොතේරේ. 

නූතන විද්‍යාවෙ චින්තනය 'ක්‍රිස්තියානිය' සමගද ජාතික චින්තනය බුදු දහම සමගද ගැලපෙන බවට නලින් කරන තර්කය මට පිලිගත නොහැක නමුත් එසේ නොවන්නෙ ඇයි දැයි විස්තර කිරීමට දිගු ලිපියක් අවශ්‍යවේ. එය අනාගතයේ කිරීමට බලපොරොතු වෙමි. කෙටියෙන් පැවසුවොත්, සංකල්ප මුලින්ම තනාගෙන එය වට ප්‍රවාද ගොඩ නැගීමේ ක්‍රමය හා අත්නොහරින සංකල්ප තිබීමේ චින්තනය වඩාත් සමීප වන්නේ ක්‍රිතියානියට මිස නූතන විද්‍යාවට නොවේ. මාගෙ මුල් ලිපියේද සඳහන් ආකාරයට නූතන විද්‍යාව යනු ක්‍රිස්තියානි චින්තනයෙන් පැහැදිලිව බිඳී වෙන්වූ චින්තන ක්‍රමයකි. නූතන විද්‍යාව "ක්‍රිස්තියානි" චින්තනයට පැටලවීමට නලින් දරන උත්සාහය හුදෙක්ම දේශපාලනිකයි.

ක්‍රිස්තියානිය සමග පටලා "උන්ගේ" සහ "අපේ" යන බෙදීම මතු නොකොට විද්‍යාවට විරුද්ධව මතයක් ගොඩ නැගීමට නලින්ට කිසිදාක නොහැකි වන බව දන්නා නිසා, මෙය ඔහු කල ඔහුගේ සම්‍යක්ප්‍රයොගයකි. නැවත නැවත ප්‍රකාශ කිරීම නිස මෙය ස්ව්යං-ගොබෙල්ස්කරනය වී දැන් නලින්ද විශ්වාස කරනවා වීමට පුලුවන. නමුත් මෙය අලි බොරුවකි. මෙම බොරුව ඉවත් කලද, නලින් ගත යුතු යමක් පවසා ඇත. නමුත් අවාසනාවට 80, 90 දශක වලදී නලින් ගේ දර්ශනය වටේ එතරම් පිරිසක් එකතු නොවීය. මෑතකදී සිට ඔහු අමු අමුවේ ගෝත්‍ර වාදය වපුරන විට නම් ඔහුට අනුගාමික පිරිසක් බිහිවිය. නමුත් 80 වේ දශකයේ ඔහුට ලංවූ මා වැන්නන් ඔහුට අහිමි විය.  

'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' පිලිබඳ සංකල්පය ඉතා රසවත් සේම ඒ ගැන මමත් ඉතා උනන්දුය. නමුත් කරුනු කිහිපයක් නිසා මේ මතය ඉදිරිපත් කරන නලින්ගේ අවංක භාවය ගැන ප්‍රශ්න මතුවේ. පලමු ප්‍රශ්නය නම් මෙය කොතරම් දුරට එතුමාගේ නිර්මාණයක්ද යන්නයි. ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරනය තුල (Copenhagen Interpretation of Quantum Mechanics) මෙතුමාගෙ මත වලින් බාගයක් ඇත. බටහිර විද්‍යාත්මක සංවාද තුල එතරම් සාකච්ඡාවට බඳුන් නොවුනද සහබාගීත්වයෙ යථාර්තය (participatory world view) යනු කෝපන්හෙගන් විවරනය ප්‍රකාශවූ දිනයේ සිට (1927) බටහිර පඬුවන් අතරේද සංවාදයට ලක්වූ සංකල්පයකි. "participatory world view" යන්න ගූගල් කල විටදී ලැබුන ගැලපුම් ගනන 1,290කි. එයිනුත් [Link1], [Link2] වඩාත් කුතුහලය දනවයි. බටහිර සියලු දෙයට ගැරහීම පමනක් නොමැතිව, නලින් කියන අනෙක් සියලු දේ මෙහි ඇත. participatory world-view යන්න අනාගතයේ වඩාත් සාකච්ඡාවට බඳුන් වුවද, එය සිංහල බෞද්ධ සන්කෘතියට සින්නකර ලියා ගැනීමට නම් නොහැකි වෙනවා ඇත. මෙම ගෝත්‍රවාදය මෙම චින්තනයට පටලවන්නේ නැතිනම් මෙම මාතෘකාව ඉතා රසවත් වෙනවාට සැක නැත.

ක්වන්ටම් වාදය සහ පොදු නිරීක්ෂනය

ක්වන්ටම් වාදය ගැන නලින් ලියූ ලිපියක් මෑතකදී කියවූ පසු මට වැටහුනේ, "පොදු නිරීක්ෂනයේ"(common observation) ඇති වාස්තවිකත්වය ගැන මගේ අදහස සනාථකරමින්, පොදු නිරීක්ෂනය සංස්කෘතියට සාපේක්ෂවීම ගැන නලින්ගේ අදහස ඔහු විසින්ම අනාථකර ඇති බවයි.

ක්වන්ටම් භෞතිකයේ එන ද්විත්ව සිදුරු පරීක්ෂනය (double slit experiment) ගැන නලින් ගේ විවරනය තුලදී ඔහු ඔහුගේම මුලීක මතවාදය බිඳ දමයි. වාස්තවික යථාර්තයක් (objective reality) නොමැතිවීම සහ සියලු දැනුම් සංස්කෘතියට සාපේක්ෂ වන බැවින් සියලු දැනුම් මිත්‍යාවන් බව ජාතික චින්තනයේ එන "නිර්මානාත්මක සාපේක්ෂතාවේ" මූලිකම හරයයි. මේ අනුව සියලු "නිරීක්ෂනද" සංස්කෘතියට සාපේක්ෂවේ. නලින්ගෙ විවරනයට අනුව ඇරිස්ටෝටලීය "නිරීක්ෂනය" හා වාස්තවික යථාර්තයක් ගැන විස්වාශ කරන සංස්කෘතියක් තුල එම විශවාසයේ පදනම සම්පූර්නයෙනම බිඳ වැටෙන "නිරීක්ෂන" ඇතිවිය නොහැක. නලින්ගේ නිරීක්ෂනය පිලිබඳ මතවාදයට අනුව ද්විත්ව සිදුරු පරීක්ෂනයේ නිරීක්ෂනය තුලද කිසිම වාස්තවික බවක් නැතිවිය යුතුය. එනමුත් "පොල් ගෙඩිය බිම වැටීම" යන නිරීක්ෂනයද සංස්කෘතියට සාපෙක්ෂ බව කියන නලින්ම ද්විත්ව සිදුරු පරීක්ෂනය තුල හදිසියේම අමුතු වාස්තවිකත්වයක් දකී. හදිසියේම දිවිත්ව සිදුරු නිරීකෂනය සංස්කෘතීන්ගෙන් ස්වයායත්ත වී ඇත. 

නලින්ට මෙසේ වන්නේ ඇයි? ඔහුගේ චින්තයන හුදෙක්ම දේශපාලනික නිසාය. ද්විත්ව සිදුරු පරීක්ෂනයේ නිරීක්ෂනය නිසා ලෝකයේ එතෙක් පැවති ලෝක දැක්මක් (world-view) උඩු යටිකුරු විය. නිරීක්ෂනයෙන් ස්වයායත්තව පවතිත වාස්තවික යථාර්තය (objective reality) ගැන අදහස අභියෝගයට ලක්වන මේ නිරීක්ෂනය නලින්ට මහත් ආස්වාදයක් දනවයි. වාස්තවික යථාර්තයට මරු පහරක් වදින මේ නිරීක්ෂනය ඔහු අනෙකුත් සියලු නිරීක්ෂන වලට උඩින් ඔසවා තබයි. ඒ සඳහා සිය මූලිකම මතවාදයක් වූ "නිරීක්ෂනය සංස්කෘතියට සාපෙක්ෂය" යන්න අමතක කරයි.

මිනිසාට සාපේක්ෂ නිරීක්ෂනය හා සහබාගීත්වයේ යථාර්තය (participative reality) යන සංකල්ප ඔස්සෙ යමින් විද්‍යාව මේ ගැටලුව විසඳා ඇත. පොල්ගෙඩි බිම වැටෙන්නනේත්, ද්විත්ව සිදුරු පරීක්ෂනයේ දී උප-පරමානුක අංශු (sub-atomic particles) එකවර ස්ථාන දෙකක පවතින්නේත්, සංස්කෘතියට නොව මිනිසාට සාපෙක්ෂවය. අපෙන් ස්වයායත්තව පවතින යථාර්තයක් 'ඇත' හෝ 'නැත' යනුවෙන් තර්ක කිරීම නිරර්ථක බවත්, අප නිරීක්ෂනය කරන්නේ යමක්ද එය යථාර්තය බවත් අද බොහෝ ක්වන්ටම් වාදි විද්‍යාඥයෝ සහ නූතන දාර්ශනිකයෝ එකඟ වෙති.

අපෙන් ස්වයායත්තව පවතින යථාර්තයක් 'ඇත' හෝ 'නැත' යනුවෙන් තර්ක කිරීම, දෙවියන් 'ඇත' හෝ 'නැත' යනුවෙන් දෙපිලක් බෙදී තර්ක කිරීමට සමානවේ. දෙවියන් මෙන්ම වාස්තවික යථාර්තයද විද්‍යාවට ගෝචර වන සංකල්ප නොවේ. සාධාරන තත්ව යටතේ කරනු ලබන පරීක්ෂනයක ප්‍රතිපලයක් ලෙස 'බොරු' (falsify) කල නොහැකි ප්‍රවාද සියල්ලම විද්‍යාව ඉදිරියේ හුදු මනස්ගාත වේ. එබැවින් දෙවියන් මෙන්ම වාස්තවික යථාර්තය යන සංකල්පයද හුදු මනස්ගාතයක් පමනි.

ගෝත්‍රවාදී මානසිකත්වය

ගිරා පෝතකයන් නොවන, ඔහුගෙ චින්තනය ඇත්තටම් තේරුම් ගත්ත සැබෑ 'ගිරවුන්ට' තියෙන තවත් ප්‍රශ්නයක් නම්, සිය ගෝත්‍රයේ ඉපදී තමන්ගේ 'චින්තනයට' දර දිය නොඇද, වෙනත් චින්තන රටා ඉදිරිපත් කරන සැවොම එක්කෝ "මැට්ටන්", "අනුකාරකයන්" නැත්නම් "දීනයන්" ලෙස නම් කිරීමය.

විද්‍යාව යනු එය නිර්මාණය කල සංස්කෘතියට සාපේක්ෂ සම්මුති සත්‍යයක් මිස, වාස්තවික යථාර්තයක් නොවේය යන මතවාදය ද; චින්තනය හා එම සන්ස්කෘතිය නිරන්තරයෙන් එකිනෙකා පෝෂනය කිරීමත්, එම චින්තනය විද්‍යාව තුලට බද්ධවීමත් යන කාරනා සම්බන්ධව නලින් ගේ මතවාද ද, කිසිවෙකු තෙරුම් ගත්තේ නම්, ඔහු එම මොහොතේම දනින් වැටී නලින් සරන යා යුතු බව නලින් හා ඔහුගෙ උගත් ගෝලයන් සිතයි. එය එසේ නොවන්නේ නම් "මූට චින්තනය කියන්නෙ මොකක්ද කියා තෙරෙන්නේ නැත" යන්න ඔවුන්ගෙ උපකල්පනයයි. නලින්ට මේ අවස්තාවේ කිව යුත්තේ, ඔබගේ චින්තනය තෙරුම්ගත්, ඔබ සිංහලෙන් ඔය චින්තනය අපට කියාදීම ගැන ස්තුතිවන්ත වන, නමුත් ඔබගේ ගෝත්‍රවාදී මානසිකත්වයට එකඟ නොවෙන යම් පිරිසක්ද ඔබගේ ගෝත්‍රය තුල සිටින බවයි.

ඔබ නැවත නැවත කියනා පරිදි ඔබගේ ගෝත්‍රයේ සිටින කිසිවෙකුට "බටහිර චින්තනයේ" අනුකාරකයෙකු වෙනවා මිස බටහිර චින්තනය තේරුම් ගත් සැබෑ පඬුවෙකු වීමට බැරිනම්, එම ගෝත්‍රයේම ඉපදුනු, හැදුන වැඩුන ඔබ "බටහිර චින්තනය" තේරුම් ගෙන, එයින් ලොවට වන අගතිය වටහා ගෙන, වෙනත් චින්තනයක් ඉදිරිපත් කලේ කෙලෙසද? ඔබ එය කලේ බටහිර චින්තනය අතැඹුලක් සේ හඳුනා ගැනීමෙන් පසුව යයි මම සිතමි. ඔබ කියන්නෙ ඔබවැනි චින්තන කිහිපයක් හඳුනාගත් "පොරවල්" ලංකාවේ නැවත පහල නොවන බවද?

බටහිරට බනිමින් නලින් ද සිල්වා මහතා සාකච්ඡා කරන්නේද බටහිර විද්වතුන් අතරේද සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. එය කමක් නැහැ කියමු; එතුමා භයානක දෙශපාලන මතවාද කිහිපයක් මේකට පටලවයි. එතුමා කිසිම වග විභාගයකින් තොරව නූතනවාදී සහ පශ්චාත් නූතනවාදී (modern and postmodern) සංකල්ප තුලින් බිහිවූ දේශපාලමය හා සමාජමය හර පද්ධතීන් (value systems) අමු අමුවේ ප්‍රතික්ශෙප කරයි. ඒවා ලංකාවෙන් බැහැර කලයුතු බව කියයි. බටහිර හර පද්ධතීන් වල හොඳක් ඇත්තේම නැද්ද!? මෙතුමාට අනුව බටහිරයන් "උසාවියකින් වැරදිකරු කරන තුරු සෑම චූදිතයෙක්ම නිවැරදි කරුවෙකි" යයි පවසන විට අපි "උසාවියකින් නිවැරදිකරු කරන තුරු සෑම චූදිතයෙක්ම වැරදි කරුවෙකි" යයි සැලකිය යුතු බව වැන්නක් කියයි. එතුමාගෙ දිවයින "දැක්ම" ලිපි වලට අනුව පෞද්ගලිකත්වය, මානව හිමිකම්, නීතීඥයන්, ආන්ඩු පෙරලීමේ ජනතා අයිතිය, ජනතා පරමාධිපත්‍ය ඇතුලු මෙකී නොකී සංකල්ප අප බැහැර කලයුතු "බටහිර" දේ වෙයි. මෙම නව-නට්සිවාදී දෙශපාලන දර්ශනය 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' හා පෑහෙන්නෙ කෙසේද යන්න මට පැහැදිලි නැත.

කෙසේ වුවත් මට එක් දෙයක් පැහැදිලි විය. මර්වින් සිල්වා යනු ඉහත සඳහන් කල කිසිම "බටහිර" හර පද්ධ්තියක් ගැන අසාවත් නැති, සිංහල බෞද්ධ පහල මධ්‍යම පාංතික යල් පිනූ පිලුනුවූ හර පද්ධතියක් තුල ක්‍රියාත්මක වන දේශපාලන චරිතයකි. මර්වින්ට පලු යන්නට බනිමින් දිවුන එක්තරා Facebook සංවාදයකදී ජාතික චින්තන අනුගාමිකයෙකු පැවසුවෙ ඔහු "interesting" චරිතයක් බවයි. අඩු ගනනේ දැන් ඒක පැහැදිලිය. චින්තනය යටතේ බිහිවන දෙශපාලන දර්ශනය තුල මර්වින් "interesting" චරිතයකි, විමල් වීරවංස "වීර" චරිතයකි. චින්තනය යටතේ රටට යන කල ඉන් අපට හිතාගත හැක.

නලින්ගේ එක් මතයකට නම් මම සපුරා එකඟ වෙමි. ලංකාව දෙශපාලන හා සමාජමය වශයෙන් නන්නත්තාර වීමට හේතුව අප "බටහිර" හර පද්ධතීන් හා අතීත "සාර්ධර්ම" අතර අතරමං වීම බව ඔහු කියයි. අපිට ඒකත් නැත, මේකත් නැත. ඒක නම් සහතික ඇත්ත!! විසඳුම ලෙස ඔහු කියන්නෙ, අපි "බටහිර" හර පද්ධතීන් අලුයම ලූ කෙල පිඬක් සේ ඉවතලා අතීත සාර්ධර්ම වැලඳ ගත යුතු බවයි. අතීත කාමයෙන් පෙලෙන, නලින් ගෙ නිවුන් සොහොයුරු ඇමරිකානු ජාතික බිල් ඔරෙලි (Bill O'Reilly)පවසනේද මෙයමැයි. බිල් ඔරෙලි පවසන පරිදි, සදාචාරය පිලිබඳ ඇමරිකානු ප්‍රශ්නයට හේතුව නිර්-ආගමික හර පද්ධතීන් හා ක්‍රිස්තියානි සාරධර්ම අතර අතරමංවීමයි. විසඳුම නම් දෙවියන් කේන්ද්‍ර කරගත්, ක්‍රිස්තියානි අතීත සාර්ධර්ම නැවත නගාසිටුවීමයි. නලින් නූතනත්වයට "බටහිර" ලේබලය අලවනවිට, බිල් නූතනත්වයට "අදේවවාදී" (atheist) ලේබලය අලවයි. නූතනත්වය සහ පශ්තාත් නූතනත්වය(post-modernism) "පර-සංස්කෘතීන්" වෙතින් ආ ආක්‍රමනයක් ලෙස බිල් ඔරෙලි ඇතුලු ඇමරිකානු අතීතකාමින් (ultra-conservatives) දකින අතර. එය "බටහිර ක්‍රිස්තියානි" ආක්‍රමනයක් ලෙස නලින් දකී. එසේ දකිමින් ඔහුගේ අනුගාමිකයන්ද බිය කරයි. මෙම දෙදෙනාම දැන හෝ නොදැන පාවිච්චි කරන දෙශපාලන ආයුධය එකමය. එනම් "උන්" සහ "අපි" යන බෙදීම ඔස්සේ කරන "භීතිකා නිර්මානයයි" (fear mongering). බිල් සහ නලින් මෙසේ එකඟ වේ "උන් අපිට කෙලවා ඇත!!"

The parallels between these ultra-Orthodox Jews [in Israel] and the American Christian Right are strong. Both regard modernity as a tragedy, both lament the loss of power and influence for their respective religions, both would like to transform society by taking it back several hundred (or thousand) years and instituting religious law in place of civil law, both are dismissive of the rights of religious minorities, and both would risk war with other nations in pursuit of their religious goals.

[from http://atheism.about.com/b/2006/07/23/is-israel-a-religious-or-a-secular-state.htm]

[පසු සටහන: බිල් ඔරෙලි මෑත කාලයකදී ඔහුගේ සමහර අන්තගාමි අදහස් තරමක් වෙනස් කරගෙන තිබේ. එබැවින් මෙම උදාහරණය සඳහා ඔහුගේ නම යොදා ගැනීම එතරම් සාධාරන නොවීමට ඉඩ ඇත. එසේ නම් ජෙරී ෆෝල්වෙල් (Jerry Falwell) නම ඒ සඳහා ආදේශ කරගත හැක.]

උන් සහ අපි

"ඔවුන් සහ අපි" (us and them) යන බෙදීම යමෙකු මතුකරන්නෙ දෙශපාලන අරමුනු වෙනුවෙනි. දැනුම නිර්මාණය කරන්නන් බෙදීම් නොව සමානකම් කෙරෙහි වැඩි අවධානය යොදති. "ඔවුන්" සහ "අපි" යන බෙදීමක් ඇතිවී ඇත්නම්, එම බෙදීමට උපයෝගී වු සාධක තවමත් නිවැරදිදැයි අප විම්සිය යුතුය. සියලු බෙදීම් ඇත්තේද අපගෙ සිතේ වන බැවිනි ඒ.

බෙදන්නට අවශ්‍ය පුද්ගලයාට කුමක් හෝ සාධක ටිකක් පටලවා ඉරක් ඇද, මෙතනින් එහා ඉන්නේ "උන්" මෙතනින් මෙහා ඉන්නෙ "අපි" යැයි පැවසිය හැක. මෙම බෙදීමෙ ඉර මනසින් දකින පුද්ගලයන්ගෙ සන්තානය තුල දැන් "උන්" සහ "අපි" ජීවත් වේ.

"ඔවුන් සහ අපි" යනුවෙන් බෙදීම නලින් ද සිල්වාගේ සියලු මතවාද පටන්ගන්නා ලක්ෂයයි. ඒ ඒ තැන් වලට ගැලපෙන ලෙස ඔහු සිය බෙදීම් නිර්වචනය කරයි. "බටහිර්/පෙරදිග", "බෞද්ධ/අබෞද්ධ", "සිංහල/අසිංහල" යන බෙදීම මත මිස ඔහුට යැපීමට වෙන සංකල්පයක් නැත.

නලින් ද සිල්වා පරම සත්‍යයක් ගැන සඳහන් නොකරයි. දැනුම යනු සාපේක්ෂතාවයක් බව ඔහු පිලිගනී. බෞද්ධ දර්ශනය හා එයට ගෑවී ඇති සියලුම දේ තුල "සත්‍යය" බේරෙන බව, හා එම සත්‍යය "නවීන විද්‍යාවෙන්ද" බොරු නොකල හැකි බව පවසන දුහුනන් ඔහුගේ සරදමට ලක්වේ. නමුත් බටහිර යැයි තමන්ට හැඟෙන ඔනෑම සංකල්පයක්, හා එම සංකල්ප ඇසුරෙන් සිය සිතුවිලි මෙහෙයවන සිලල්ලන්මත් ඔහුගෙ ද්වෙශයට ලක්වේ. එක් දැනුමක් තව දැනුමකට වඩා සත්‍ය නොවන්නේ නම්, සත්‍ය මැන බැලීමට රාමුවක් (frame of reference) නොමැතිනම්, එක් දැනුමක් යොදා ගන්නන්ට ද්වෙශ කරන්නනටත්, තව දැනුමක් ඔසවා තැබීමටත් නලින් ද සිල්වාට හැකිවන්නෙ කෙසේද?

නලින් ද සිල්වා මේ සඳහා භාවිතා කරන එකම රාමුව ගෝත්‍ර වාදයයි. එය උන්ගෙ ගෝත්‍රයෙ දැනුමයි, මෙය අපේ ගෝත්‍රයේ දැනුමයි. උන්ගේ ගෝත්‍රයෙ දැනුම භාවිතාවෙන් සිය ජීවිතය හැඩගස්වා අපේ උන් "දීනයන්ය"

බටහිර රටවල ජීවත් වල පිරිස්ද අතරද අප මෙන්ම විවිධ් අදහස් දරන්නෝ වෙති. ඒ සමහර අදහස් හා "පෙරදිග" යයි අප කියාගන්නා අදහස් අතර ඇති සමාන බව වැනි මාතෘකාවක් නිකමට නලින් ද සිල්වා මහතා සමග සාකච්ඡා කර බලන්න. එමෙන්ම, දැනුම නිර්මාණයේදි තම දැනුම් පද්ධතියට පිටතින් ඇති දැනුම් ද එක්කර ගැනීම ගැන කතා කර බලන්න. "ඔවුන් සහ අපි" යන බෙදීම මත එතුමා කොතරම් යැපෙනවාද කිය මෙවැනි සුලු පරීක්ෂනයකින් දැනගත හැකියි.

අපිට අපේම කියා දැනුමක් ගොඩ නැගිය හැකිය යනුවෙන් පවසා තරුණ පුද්ගලයන් කඩේ ඇරීමට මෙතුමා සමත්ව ඇත. දැනුම් ගොඩ නගන අවංක ව්‍යායාමයකදී, "ඔවුන්" සහ "අපි" යන බෙදීමක් ගැන වහලය මත නැග ඔයතරම බෙරිහන් දීමට අවශ්‍ය නැත. මේ තරුණයන්, කඩෙ යන්නෙ එතුමාගෙ දේශපාලනයට මිස, දැනුම් නිර්මානයට නොවන බව දැනගෙන කඩේ යාම යෙහෙකි.

මෙතුමා භයානක දේශපාලන මතවාද කිහිපයක් ඉදිරියට දැමීමට පටන්ගෙන ඇත. පෞද්ගලිකත්වය හා මානව හිමිකම් යනු බංකොලොත් බටහිර සංකල්පයක්ය යන්න පැවසීම එකකි. පෞද්ගලිකත්වය රාජ්‍යත්වයට ඉහලින් ඔසවාතබන ප්‍රජාතත්‍රවාදය යනු අත්හැරදමිය යුතු බටහිර ක්‍රිස්තියානි මතයක් යැයි පැවසීම අනෙකය.

http://www.divaina.com/2010/12/19/nalin.html -> /*පෞද්ගලිකත්වය ඉස්‌මතු කරන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි පුද්ගලයා රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කෙරෙයි. ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය පැන නඟින්නේ මේ ද්වෛතය ඔස්‌සේය. සමස්‌තයට එරෙහිව පුද්ගලයා ඔසවන විටම සමාජයද අර්බුදයට යෑයි. -නලින්  */

පෞද්ගලිකත්වය සහ සාමූහිකත්වය යනු එකිනෙකට එදිරි මතවාද දෙකක් නොවේ. පෞද්ගලිකත්වය ඔසවා තබනවිට සාමූහිකත්වය බිඳ වැටෙන බවට නලින් කරන ප්‍රකාශය ඔහු ගර්හාවට ලක්කරන "ද්විකෝටිකය" තුල ඔහුම සිරවීමේ උදාහරණයකි. කෙසේ වෙතත්, නූතන චින්තනය තුලදී පෞද්ගලිකත්වය හා සාමූහිකත්වය අතර පටලැවිල්ල ලෙහා ගන්නෙ චතුස්කෝටිකයට යාමෙන් නොව, එම මතවාද එකක් අනික හා විරුද්ධ මතවාද දෙකක් නොව වෙනස් පරාමිතීන් අනුව ක්‍රියාත්මක වෙනස් සංකල්ප දෙකක් බව වටහාගැනීමෙනි. මෙම අවබෝධයට එලැඹි පසු, සමාජයේ සාමූහිකත්වය මෙන්ම පුදගලයාගේ පෞද්ගලිකත්වයද ආරක්ෂාකරගත හැක. පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ශා කිරීම හරහා ඔහු සමාජයේ සාමූහිකත්වයට දායක කරගන්නෙ කෙසේද යන්න විස්තර කිරීමට උදාහරණ පසුවට ගෙන එන්නෙමි.

හිට්ලර් ගේ නට්සි වාදයට පදනම් වූ දර්ශනය සහ නලින් ගේ මේ දර්ශනයයෙ ඇති සමානත්වය මා භීතියට පත්කරයි. මානව ශිටාචාරය විසින් අතහරිනු ලැබූ රාජාංඩු (monarchy) ක්‍රමය කරා ආපසු අප රැගෙන යාමට මෙතුමාට අවශ්‍ය වී ඇත.

දැන් අපි ජාතික චින්තනය තුල මර්වින්ගේ භූමිකාව විමසා බලමු. ඔහු රාජකාරිය අතපසු කල රජයේ සේවකයෙකු ගස් බැන්දේ හුදෙක්ම මාධ්‍ය තුල ලාබ ප්‍රසිද්දිය අපේක්ශාවෙන් යැයි බොහෝ දෙනෙක් පවසති. මම ඊට තරමක් වෙනස් ආකරයකට සිතමි. බහුතර ප්‍රජාවගෙ යහපත සඳහා වූ කාර්යයක් පෞද්ගලික හේතූන් නිසා අතපසු කල 'බලු ගැත්තෙකුට' නිසි දඬුවම් එතැනදීම ලබාදීම යනු "අතීත සාරධර්ම" අනුව රාජපුරුෂයෙකුගෙ සත්ක්‍රියාවකි. නූතන හර පද්ධතීන් ගැන නොදන්නා මර්වින්, මෙම ක්‍රියාව නිසා තමන් ජනප්‍රිය වෙතැයි අවංකවම සිතුවා වීමට බොහෝ ඉඩ ඇත.නලින් ද සිල්වාගේ "දිවයින දැක්ම" විවරන අනුව පැහැදිලි වන අන්දමට, ගස් බැඳීමට ලක්වූ පුද්ගලයාගෙ වරද අමතක කොට, අපි ඔහුගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් හඬ නගන්නේ, ප්‍රජාවට හා පාලනතන්ත්‍රයට ඉහලින් පෞද්ගලිකත්වය ඔසවා තබන "බටහිර" හර පද්ධතියක අප සිරවී ඇති බැවිනි.

බටහිර විද්‍යාව සහ පරිසරය විනාශ

එතුමාට අනුව බටහිර විද්‍යාව තුල පරිසරය විනාශවීම හැර කිසිදිනෙක හොඳක් නොවේ. හේතු නොදක්වාම[2] "ඊනියා" හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් යනාදියද "හරි යන්නෙ නැතිබව" මෙතුමා පවසයි. අපගෙ පුරාණ කර්මාන්ත හා ගොවිතැන විසඳුම බවද එතුමා පවසයි.අපගේ පුරාණ කර්මාන්ත හා ගොවිතැන මගින් පරිසර විනාශ නොවුනේ, ඒවා හරහා පරිසරය හානි කිරීමට තරම් පෙරදිග සංවර්ධනය වීමට පෙර, බටහිර තුල කාර්මික විප්ලවය සිදුවීම නිසා නොවේද? කාර්මික විප්ලවය ආසියාව ආශ්‍රිතව සිදු නොවුනේ එතුමා ඔය කියන සංකල්ප වෙනස නිසාද නැත්හොත් වෙනත් පරිසර සාධක නිසාද? හැම දෙයකම වරද "බටහිර" හා "ක්‍රිස්තියානිය" පිට පැටවීමට බලාසිටින චින්තනයකින් ලෝකය පිලිබඳව හරි වැටහීමක් ගත හැකිද? කොටින්ම කියතොත් මේ චින්තනයට අනුව අතීත "සිංහල බෞද්ධ" සංස්කෘතිය තුල අබමල් රේනුවක වත් වරදක් තිබී නැත. සිලලු වර්තමාන වැරදි වලට හේතුව සුද්දා පැමින "බටහිර ක්‍රිස්තියානිය" හරහා අපට කෙලවීමයි.

උදාහරණයක් ලෙස ගතහොත් හේන් ගොවිතැන පරිසර හිතවේදි නොවේ. අවුරුදු දහස් ගනනක් පැරනි ගස් කපා, කැලය එලි කොට වනාන්තරය නිසා සරු වූ පොලවේ බෝග සිටුවීම හේන් ගොවිතැනයි. මෙම සරු පොලවේ වැවෙන බෝග ඉවත් කරගැනීම මිස පොහොර යෙදීමක් සිදු නොවේ. හේන නිසරු වන විට එය අත්හැරදමා කැලයේ වෙනත් තැනක් එලෙසම එලි කෙරේ. අත්හැර දැමූ හේනේ නැවත සෑහෙන කලකට මහ ගස් නොවැවේ. කුඩා පඳුරු සහ තෘණ වර්ග පමනක් වැවේ. පරිසරය කෙමෙන් වෙනස් වේ. කාලාන්තරයක්දී බෝග වැවීමට නුසුදුසූ තෘණ භූමියක් බවට පත්වේ.වැසි වානාන්තර ක්‍රමයෙන් නිසරු තෘණ භූමි බවට පත්වීම මෙමගින් සිදුවේ.

එනමුත් හේන් ගොවිතැන හරහා පරිසරය විනාශවීමට නම් එය ආශ්‍රිතව ජීවත්වන ශිෂ්ටාචාරය වනාන්තරයට වඩා වේගයෙන් වර්ධනය විය යුතුය. වෛද්‍ය විද්‍යාව දියුනු නොවේ නම්, කුඩා කල ලෙඩ රෝග සෑදි මියයන ලමුන් නිසා කිසියම් සමබර තාවයක් ඇතිවිය හැක. එහෙත් ඉපැරනි 'ඉන්කා' සහ 'මායා' ශිෂ්ටාචාර මෙසේ වැසිවාන්තර සියතින් විනාශකරගත් නිසා සරු භුමි නැතිවී වඳවී ගිය බවට මතයක් වේ. ලංකාවෙ "හෝටන් තැන්න" (මහ එලිය) තෘන භූමියද ස්වභාවිකව ඇතිවූවක් නොවන බව සඳහන්ය. ඉපැරනි මානවයින් (බලංගොඩ මානවයා) සතුන් අල්ලා ගැනීම සඳහා වනාන්තරය ගිනි ලෑමෙන් මෙම භූමිය නිර්මානය වූ බව කියැවේ. බලංගොඩ මානවයා දන්නා බටහිර ක්‍රිතියානි නූතනත්වය මොකක්ද? ලෝකයෙ කොයි කොන සිටියත්, පන කෙන්ද රැකගැනීම සඳහා පරිසරය සමග එකම ආකාරයකට ඔට්ටුවූ එකම සතුන්ය අපි. ඔය කියනා "බටහිර/පෙරදිග" බෙදීම සම්පූර්නයෙන දෙශපාලනිකයි.

අනවශ්‍ය ලෙස සම්පත් පරිබෝජනය කිරීම සහ සමාජය තුල පරිබෝජනය කෘතිමව ඇතිකිරීමේ වෙලඳ ආර්ථිකය (consumerism), එම හේතුව නිසාම ඇතිවන සම්පත් බෙදීයාමේ විෂමතා, සහ අධික ලෙස ජනගහන වර්ධනය රටක ජනජීවිතය සහ පරිසරයට හානි කරන ප්‍රධාන හේතු ලෙස මම දකිමි. නලින් ද මීට සමාන මතයක සිටිනි බව පෙනේ. වෙනස ඇත්තේ ඔහු මේ සියල්ලෙ වරද බටහිර චින්තනය හා ඒ තුලින් (පමණක්) බිහිවී ඇතැයි ඔහු කියන නවීන විද්‍යාවේ ගිනුමට බැර කිරීමයි. මේ සම්බන්දව මාගේ මතය පැහැදිලි කිරීමට නම් වෙනම ලිපියක් අවශ්‍ය වේ. කෙටියෙන් සඳහන් කරතොත්, ලොව සියලු සංස්කෘතීන්ට එකිනෙකාගෙන් එල්ල වෙන බලපෑම් නවතා ඔවුන්ගේම චින්තනය මත පදනම් වූ දැනුම් පද්ධතියක් සමග දියුනු වීටමට ඉඩ හැරියේ නම් ඒ සමාජයන් සියල්ල අඩු-වැඩි කාලසීමවකට පසු අප දැන් තිබෙන තැනට එන බව මගේ හැඟීමයි. ඒම සිතුවිලි පරීක්ෂනයේ (thought experiment) ප්‍රතිපලය අමතක කරමු. දැනට තිබෙන තත්ව යටතේ කිසිම සමාජයකට වෙනත් සන්ස්කෘතීන් ගෙන් එල්ලවෙන බලපෑම් නවතා හුදකලා විය නොහැක. මෙම තත්වයන් යටතෙ නලින්ගේ චින්තනය සමග දිවෙන සමාජයක් කිසිදාක ඇතිනොවේ. නලින් ගේ මතවාද තුල කිසියම් ගත් යුත්තක් වේද ඒ ටිකද, බටහිර සමග ඇති වෛරී ස්වභාවය, අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කරන "සිංහල බෞද්ධ" ගෝත්‍රවාදී ලේබලය වැනි කරුනු නිසා ඉතා සුලු පිරිසකට පමනක් සීමාවේ.

විද්‍යාව තුලින් අප ලැබූ සම්පත් රිසිසේ පරිබෝජනය කිරිමේ හැකියාව කිසිදු පාලනයකින් තොරව භාවිතා කිරීම නිසා පරිසරයට වන හානි දැන් පරිනත සමාජයන් හොඳින් තෙරුම් ගෙන ඇත. පරිසරය සුරකිමින් විද්‍යාත්මක දියුනුව මානව සමාජයේ යහපතට භාවිතා කරන්නේ කෙසේද යන්න අද විද්‍යාත්මක කතිකාවේ ප්‍රධාන මාතෘකාවයි. ලිදේ වැටුන මිනිසා ගොඩ විය යුත්තේද ලිං කටිනි.

අල්පේච්ඡතාව හා අනවශ්‍ය ඇලීම් බැඳිම් වලින් තොර වූ දිවිපැවත්ම ප්‍රචලිත කිරීම අපේ චින්තනය යටතේ ලොවේ දැනුම් පද්ධතියට අපට දිය හැකි වැදගත් දායාදයකි. මේ සඳහා කලයුත්තේ විද්‍යාත්මක දැනුමට අපේ දැනුම් එක්කිරීම මිස, විද්‍යාව සම්පූර්නයෙන්ම අල්ලා විසිකිරීම නොවේ. 

මාගේ මේ විවරනද බටහිර මතයන් තුල සිටිමින් බිහිකර ඇති නිසා ඔය විවරන සියල්ලද වලංගු වන්නේ බටහිර දැනුම තුල පමනක් බව දැන් නලින් අනුගාමිකයින් අනිවාර්යයෙනම පවසනු ඇත. බයිබලය වචනාර්තයෙන් ගන්නා ආගමික මූලධර්මවාදින් සමගද තර්ක කිරීමෙන් වැඩක් නැත. මොකා මොනවා කිව්වත් මෙකේ ඇත්තේ දෙවියන්ගේ සත්‍යවචනය බැවින් පෘථිවිය යනු මේ ලඟකදී මැවූවක් මිස අවුරුදු බිලියන ගනනක් පැවතුන දෙයක් බව ඔවුන් පිලි නොගනී. එපරිද්දෙන්ම චක්‍රීය චින්තන මූලධර්මවාදින්ටද කාලය හා අවකාශය සම්බන්ධ අපගේ සියලු දැනීම් "බටහිර ක්‍රිස්තියානි" සාපේක්ෂ දැනුම් වේ. හැබයි කාරෙකක් භාවිතා කරන මෙවැනි චක්‍රීය චින්තන මූලධර්මවාදියෙක්ට ගමනක් යන්නට වුවමනා වූ විට, සිය කලිසම් සාක්කුවට අතයවා, එහි වාස්තවික යථාර්තය තුල ඇති යතුර සොයා, කාරය පනගන්වා, සිය මනසතුල ඇති කාලය හා අවකාශය පිලිබඳ "බටහිර ක්‍රිස්තියානි" සිතියමේ අනුසාරයෙන් ගෙදර සිට ගමනාන්තය දක්වා ගොස්, වැඩේ කරගෙන ආපසු එයි. එසේ පැමින නැවත පරිගනකය ඉදිරිපිට වාඩිවී, "බටහිර" විද්‍යාවෙන් නිර්මානය කල සියලු තාක්ෂනය යොදා ගනිමින්, බටහිර විද්‍යාව යකෙකු බව පෙන්වන බ්ලොග් ලියයි.

මාගෙ පෞද්ගලික මතවාද ගැන කියතොත්, දැනුම යනු සාපේක්ෂතාවයක් බව මම පිලිගනිම්. එමෙනම දැනුම එය නිර්මාණය කල සංස්කෘතියේ චින්තනයට අනුබද්ධ බවද මම පිලිගනිමි. එය මගේ ලෝක දැක්මයි (world-view). මෙතෙක් දුරට නලින් හා මා එකඟය. එහෙත් දැනුම සාපේක්ෂ වූ බව පිලිගත් පමනින් "සියලු දැනුම් පද්ධති සමානය" යනුවෙන්ද පිලිගැනීම ගම්‍ය නොවේ. විසවීමකින් තොරව බුදින්නට හැකි සියලු දෙයට අපි "කෑම" යනුවෙන් පැවසුවද, හොඳ හා නරක කෑම ඇති බවට විවාදයක් නැහැ නේද? එපරිද්දෙන්ම "සත්‍ය" හා "අසත්‍ය" යන මිනුම් දන්ඩ නොව "හොඳ" හා "නරක" ලෙස අපට දැනුම් පද්ධති බෙදා ගතහැක. මා සිතන පරිදි තවමත් නලින් හා මා එකඟය."බටහිර" දැනුම උන්ට හොඳය අපිට නරකය. යනුවෙන් සමහර නලින් අනුගාමිකයෝ පවසති. "බටහිර" දැනුමෙන් පරිසරය විනාශ වන බැවින් එය කාටත් නරකය යනුවෙන් සමහරු පවසති. මේ සම්බන්ධ චින්තන පර්ශදයේ ස්ථාවරය මා හරියට දන්නේ නැත. කෙසේ වෙතන් 'ජාතික චින්තනය' හා මම මතවාදීව වෙනස් වන්නේ මේ අන්තයටම පැමිනි විටය. වාස්තවික සත්‍යයක (absolute reality) පැවතීම ගැන විස්වාශ කරන්නන් හා විද්‍යාව යනු සත්‍ය ගවේශනයක් (search for truth) ලෙස දකින්නන් 'ජාතික චින්තනය' හා මතවාදීව වෙනස් වන්නේ නලින් කට ඇරිය මොහොතේ සිටය. කෙසේ වුවත් ලෝක දැක්මෙන් මට වඩා වෙනස් මත දරන්නන් සමග අත්වැල් බැඳ ක්‍රියාත්මක වීමට මට සිදුව ඇත්තේ ඔවුන් ගේ මතවලින් කිසිවෙකුට නුදුරු අනාගතයේ හානියක් නොවෙතැයි සිතෙන නිසා හා 'ජාතික චින්තනය' හරහා ඇතිවෙන අනවශ්‍ය "උන්" සහ "අපි" යන බෙදීම නුදුරු අනාගතයේ දීම ජාතියට යලිත්[3] වින කල හැකි නිසාය.

සංස්කෘතිය යනු තව දුරටත්, භූමිප්‍රදේශයකට සීමා වන්නක් නොවේ. එමෙන්ම සංස්කෘතීන් එකිනෙක හා සම්මිශ්‍රනය වීමෙන් නවතම සංස්කෘතීන් බිහිවේ. මෙය අපට වැලැක්විය හැක්කක් නොවේ. ඇතැම් විට කොහෙත්ම පෑහෙන්නේ යයි නොසිතෙන මතවාද ඇති සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්, අවස්ථානුකූලව සිය මතවාද හා හර පද්ධතෙන් එහා මෙහා කරගනිමින්, හෝ සමහරවිට සම්පූර්නයෙන අත්හැර දමමින් එකිනෙකා හා යාලු මිත්‍ර කම් පවත්වති, විවාහ වලට එලඹෙති. විශ්ෂ සංස්කෘතියක් හා බද්ධවූ දැනුම් පද්ධ්තියක් හුදෙකලාව වර්ධනය කිරීම ප්‍රායොගික නොවන්නේ එබැවිනි. සංස්කෘතීන් පරිණාමය වෙන විටදී දැනුමද පරිණාමය විය යුතුය.

දේශපාලනික හේතූන් මත නලින් ගේ කන්ඩායම "බටහිර" යන ලේබලය ඇලවීමට උත්සාහකලද, නූතන විද්‍යාව යනු මා ඉහතකී ආකාරයේ සංස්කෘතිකව පරිණාමය වූ දැනුම පද්ධතියකි. විද්‍යාව හා බටහිර යුරෝපය අතර දැන් අත්තේ ඓතිහාසික සබඳතාවයක් පමනි. කිසිම ආගමකට හෝ සංස්කෘතියකට නූතන විද්‍යාව ඍජු තර්ජනයක් නොකරයි. නලින් ගේ කන්ඩායම අමාරුවෙන් නූතන විද්‍යාව හා අපගේ සංස්කෘතිය අතර ගැටීමක් සෑදීමට උත්සාහ කරන ආකාරයටම, ලෝකයේ නොයෙකුත් රටවල විද්‍යා විරෝධීන් ගේ කන්ඩායම් ඇත. ඩාවින්ගේ පරිණාම වාදයට විරුද්ධවන ක්‍රිස්තියානු, කතෝලික හා මුස්ලිම් මූලධර්ම වාදින් මේ අතර ප්‍රමුඛ වේ. ඒ වාගෙම, පරිණාමවාදය සත්‍යවූ (සත්‍යය යන වදන මෙහි යොදා ඇත්තේ සාපේක්ශ අරුතකිනි) පමනින් දෙවින්යන්ගෙ මැවුම් වාදය නිශ්ප්‍රභා නොවෙන බව තේරුම් ගැනීමට සමහර එබ්‍රහමික ආගමික නායකයන් සමත්ව ඇත. අවශ්‍ය වන්නේ සිය ආගමික මතවාද තරමක් 'පරිණාමනය' කරගෙන විශ්වයේ 'නියමයන්' පමනක් දෙවියන් විසින් මැවූ බව කීමයි. මේ ආකරයට වෙනස්වන දැනුම් පද්ධතීන් සමග සංස්කෘතීන් වෙනස් වෙමින් යන, ලෝකය යන විශාල තනි රටක අපි ජීවත් වෙමු. දෙශපාලනමය වශයෙන් රටවල් වෙන්ව පැවතියද, සංස්කෘතීන් තවදුරටත් දෙශ සීමාවලට කොටුවූ (හෝ කොටුකල හැකි) දෙයක් නොවේ.

අවසාන විග්‍රහයේදී නලින් හා මා එකඟ නොවන්නේ ඇයි? පලමුකොටම නූතන විද්‍යාව යනු 'බටහිර' බූදලයක් යයි මා නොසිතන නිසාය, දෙවනුව 'උන්' සහ 'අපි' ලෙස පැහැදිලිව බෙදීමට තරම් සංස්කෘතිය සදාතනික වෙනස් නොවන දෙයක් නොවන බව පැහැදිලි නිසාය. තෙවනුව, නූතන විද්‍යාව ඔස්සේ සිදුවන පරිසර හානිය නැවැත්විට හැකි එකම මග, පරිසර හානියට පිලියම් ලෙස විද්‍යාව තුලින් මතුවන විසඳුම් හරහා විද්‍යාව පරිවර්තනයකට ලක්කිරීම බව සිතන නිසාත්ය. මුලු ලංකාවම ජාතික චින්තනය හරහා වෙනස් මගක් ගත්තත්, නලින්ට සිය 'සිංහල බෞද්ධ' චින්තනය ලෝකයට මාර්කට් කල නොහැක (කරන්නට නම් මුලින්ම ඔය ගෝත්‍රවාදි ලේබල ගැලවිය යුතුය)නූතන විද්‍යාව හරහා ලෝකය විනාශවේ යයි නලින් අවංකවම සිතනවානම් (ඔහු ඇත්තටම එසේ නොසිතන බවයි මගේ හැඟීම)ලංකාව තුල වුවද ඉතා සීමිත පිරිසකට පමනක් ගෝචරවන 'සිංහල බෞද්ධ ජාතික චින්තනය' හරහා ලෝකය ගලවාගත නොහැකි බව ඔහුට වැටහිය යුතුය. ලෝකය විනාශවූ විට ලංකාව පමනක් ඉතුරු නොවන බවද ඔහුට වැටහිය යුතුය. මේවා නොවැටහීමට තරම් නලින් අඳ බාලයෙක් නොවේ. ඇත්තම කියනවානම් ඔහු ලංකාවේ බිහිවූ විද්වතුන් අතර ප්‍රමුකයෙක් ලෙස මම සිතමි. ඔහුගේ මේ සියලු ප්‍රවාද දේශපාලන අරමුනකින් පමනක් බිහිවෙන බව මා සිතන්නේ ඒ නිසාය.

අලුත් දැනුමක් ගොඩනැගීමට නම් ඔයතරම පැල් බැඳගෙන "බටහිරට" හා "ක්‍රිස්තියානියට" තැලීමට අවශ්‍ය නොවේ. ඔයිට වඩා සංයමකින් යුතුව "උන් සහ අපි" යන බෙදීම පදනම් කර නොගෙන මේ දෙය කිරීමට හැකි නම්, මේ අදහස් වටා මීට වඩා පිරිසක් එකතු වනු ඇති. නිර්මාණශීලි තැරුණයන් රාශියක් නලින් වටා එකතුවී ඇතිබව නම් සැබෑය. එනමුත් විද්‍යාවට පදනම් වී ඇති දර්ශනය සහ නලින් ගේ දර්ශනය අතර ඇති වෙනස ගැන මෙලෝ හසරක් නොදන්නා, කුමක් හෝ හීනමානයකින් පෙලෙන, දූපත් මානසිකත්වයක්[4](Island Mentalityඇති, ගෝත්‍ර වාදී, පටු දේශපාලන අරමුනු සහිත භයානක පිරිසක්ද මේ අතරවේ.


[1]පහත ලිපිය ලිවීමේදි 'බල්ලන්', 'කැනහිලුන්', 'මැට්ටන්', 'දීනයන්' වැනි වචන කිහිපයක් සඳහන් වන්නේ, ඒවා නලින් ද සිල්වා ඇදුරුතුමා හා ඔහුගේ අනුගාමිකයන් ගේ ප්‍රියතම වචන බව සඳහන් කිරීමට පමනක් බව සලකන්න. සත්ව උපමා යොදා ගැනීමේ එතුමාගෙ සිරිතට තරමක් ලංවූ මම 'ගිරවා' යන අහිංසක සතෙකු පමනක් ඒ සඳහා යොදා ගතිමි.

[2]එක් අතකට බැලූ කල හැම දෙයකටම හේතු ඉල්ලීම 'ද්විකෝටික' චින්තනයයි. චතුස්කෝටියට අනුව අවශ්‍ය අවස්ථාවලදී හේතු නොදැක්වීමට නලින් ද සිල්වාට අවසර ඇත

[3] "යලිත්" යයි පැවසුවේ, අනගාරික ධර්මපාල සමයේ සිට ටිකින් ටික විස පොවා ලොකු මහත් කල ගෝත්‍රවාදී සර්පයා, එක්වරක් ජාතිය දරුනු ලෙස සපාකෑ නිසාය. තිස් වසරක කුරිරු යුද්ධයේ තුවාල තවමත් සුවවී නැත. 

[4] දූපත් මානසිකත්වය (Island mentality) - The notion of isolated communities perceiving themselves as superior or exceptional to the rest of the world. This term does not directly refer to a geographically confined society, but to the cultural, moral, or ideological superiority of a community lacking social exposure. Island mentality can be characterized by narrow-mindedness, ignorance, or outright hostility towards any artifact (concept, ideology, lifestyle choice, art form, etc.) originating from outside of the geographic area inhabited by the society. [Wikipedia]


Read More ...