This is a response to the following article by Nalin De Silva http://www.vidusara.com/2011/03/23/feature2.html
ජාන කියන සංකල්පය පිලිගන්නවානම් ඉස්සෙලම කරන්න ඔනේ ඒක වටා තියෙන අනෙකුත් සංකල්පත් හදාරන එක. එකම ජාන ඇති නිවුන් දරුවන් එකිනෙකාගෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එකටට විද්‍යාව තුල පැහැදිලි කිරීමක් නැහැ කියල නලින් ඇත්තටම් හිතනවද, එහෙම නැත්නම් තමන්ගෙ ලිපි හැර වෙනත් දේවලුත් කියවන අය දැන් නැතිව ඇති කියල හිතාගෙනද නලින් දැන් ලිපි ලියන්නෙ? මේ ලිපියෙ ඩොලී ගැන සඳහන් කරපු තැන ඉඳල නලින් කරල තියෙන්න විද්‍යාත්මක ප්‍රවාද වලට වැරදි අර්ථකතන දෙන එක. තමන්ගෙ අර්ථකතනය දෙන්න කලින් ඒ ප්‍රවාදය ගැන විද්‍යාව තුල මොනවද කියන්නෙ කියල මුලින්ම සාකච්ඡා කරල ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත්, "ජානය" කියන්නෙ ජීවියාගෙ ස්වභාවය තීරණය වෙන එකම සාධකය නොවෙයි. ජාන ජීව විද්‍යාව තුල එහෙම කියවෙන්නෙ නැහැ. ජීවියාගෙ ස්වභාවය තීරනය වෙන්න ජානය සහ පරිසරය දෙකම එකතුවීමෙන්. පොලවේ උපන් හැටියෙ නිවුන් දරුවන් දෙදෙනෙක් වෙන් කරල එක්කෙක් පෘතුවියෙන් එලියෙ අභ්‍යවකාශ මධ්‍යස්තානයක ලොකු මහත් කලොත් ඔහු හෝ ඇය වඩා උස පුද්ගලයෙක් වෙයි. ගුරුත්වය අඩු පරිසරයක වැඩීම නිසයි ඒ. ඒ වගේම අර තැන් දෙකකට සුලඟෙ ගහගෙන ගිහිල්ල වැටුන ගිරා පෝතකයො දෙදෙනා වගෙ, සමාජයෙන් ලැබෙන අදහස් මත ඔවුන්ගෙ සිතිවිලි හා කල්ක්‍රියාව තීරනය වෙයි. නිවුන් දරු අසමානකම විස්තර කරන්න "කර්මය" අවශ්‍ය වෙන්නෙ නැහැ. ගසේ වැල එතී යන්නෙ ධර්ම නියාමයෙන් මිසක් කර්ම නියාමයෙන් නෙමෙයි කියල අහල ඇතිනෙ. අලුත ඉපදුන ජීවියෙක් කියන්නෙ finished product එකක් නොවෙයි. පරිසරයෙන් තව ගොඩාක් ජාති අරගෙන තමයි finish වෙන්නෙ. "ජානය" කියන්නෙ blue print එකක් නෙමෙයි. ඒක වැරදි අර්ථකතනයක්. "ජානය" කියන්නෙ රසායනිකව ලියවුන උපදෙස් මාලවක් (set of instructions) විතරයි එකම ජානය පිටපත් කරල හදපු සතුන් දෙදෙනෙක් (ඇත්තටම identical twins කියන්නෙ ස්වභාවිකවම මේ සිද්ධිය වෙන අවස්තාවක්) එකම පරිසර තත්ව යටතේ වුනත් හෞතික ශරීරයෙන් පවා සමාන වෙන්නෙ නැහැ. නිවුන්නුන්ගෙ අතේ ඇඟිලි සලකුනු ඇසේ රෙටීනා සලකුනු වෙනස්. මොකද ඒවා තීරනය වෙන්නෙ කලලය වැඩීමේදි බලපෑ සියුම් පරිසර සාධක වලින්. මානසික වෙනස් කම් ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගිරාපෝතක දෙදෙනාගේ කතාව අහල ඇතිනෙ? අපි ගොඩක් දෙනෙක් මේ "ඩොලී" ගැන වැරදි අවබෝධයක ඉන්නේ. "ඩොලී" කියන්නෙ මිනිසා විසින් කෘතිමව ක්ශීරපායි සතෙකුගෙ ජාන පිටපත් කල පලමු අවස්තාව වෙන්න පුලුවන්. එනමුත් ජාන පිටපත්වීම ස්වභාවිකවම ඔනේ තරම් වෙනව. සෑම සර්වසම නිවුන් දරු උපතක්ම ජාන පිටපත්වීමේ උදාහරනයක්. සමහර ජීවින් බෝ වන්නේ ජාන පිටපත්වීමෙන් පමනයි. කෙසෙල් ගසකින් හට ගන්නා හැම පැලයකම තියෙන්න එකම ජාන පිටපත. ඉතින් සර්වසම නිවුන් දරුවන් හෝ කෙසෙල් පැල ගැන ඔබට නැති අමුතු ප්‍රශ්නයක් "ඩොලී" ගැන තියෙන්න විදිහක් නැහැ. අප විසින් තවමත් හඳුනාගෙන නැති ක්‍රියාවලි, සංකීර්න පරාමිති ගනනාවකගේ අන්තර්ක්‍රියා නිසා සිදුවීම වන බැවින් හරිහැටි නිශ්චය කල නොහැකි දේ හෝ හුදෙක් අහම්බය නිසා වෙන දේවල් වලට "සරල තනි හේතු" ඉදිරිපත් කිරීමට බොහෝ "ආගමික" පුද්ගලයන් හරි කැමතියි. ඒබ්‍රහමික ආගම් වල අය මෙවාට act of God කියනව. බෞද්ධයනුත් මේ ආකාරයටම හේතුවක් නොදන්න හැම දේටම "කර්මය" කියන්න ගියොත්, "දෙවියන්වහසේගේ කැමැත්ත, ස්වභාවධර්මය, කර්මය, chaos" යන පද සියල්ලේම අර්ථය එක සමාන වෙනව. (සමහරවිට එහෙම වීම වඩා හොඳයි වගෙ නේද?). එනමුත් බෞද්ධ සංකල්ප වල මේ සඳහා දැනටම වචනයක් තියෙනව "ධම්ම නියාම" කියන්නෙ ඒකට. ඉතින් ධම්ම නියාමය දාල ශේප් වෙන්න පුලුවන් තැනට කම්ම නියාමය දාල අනා නොගන්නවා නම් හොඳයි. නූතන විද්‍යාව "ඔන්න අපි සියලු ප්‍රශ්න විසඳල තියෙන්න" කියල කකුල හාන්සිපුටුවෙ උඩට දාගෙන ඉන්නෙ නැති නිසා, උත්තර නැති ප්‍රශ්න රාශියක් නූතන විද්‍යව තුල තියෙනව. හැම දෙයකටම තනි සරල හේතුවක් අවශ්‍ය කරන "හේතුහාමි"ලාට ඒක ප්‍රශ්නයක් උනාට විද්යාමක ලෝක දැක්ම තුලදි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මට බෞද්ධ දර්ශනය ගැන ලොකු පොතේ දැනුමක් නැහැ. නමුත් මතුපිටින් අතගා මා දන්නා විදිහට ගත්තොත් ජානගත රසායනික උපදෙස් (genetic instructions coded chemically) කියන්නෙ 'බීජ නියාම' සහ එකිනෙකින් වෙන් කර තනි හේතුවක් දක්වන්න බැරි සංකීර්න පරාමිතීන් ගනනාවක අන්තර්ක්‍රියාවෙන් සිදුවන ක්‍රියාවලි 'ලෝක ධර්මතාවය' හෙවත් 'ධර්ම නියාම' කියල කියන්න පුලුවන්. එක හොඳ අරුත් දැක්වීමක්. ඔය කියන සංකීර්න පරාමිතීන් සියල්ල වෙන් වෙන් වශයෙන් අඳුරගෙන ඒවායේ අන්තර්ක්‍රියා තේරුම් ගන්න යන්නෙ නැතුව නූතන විද්‍යාව මේ සංකීර්න ක්‍රියාදාමයන් තේරුම් ගන්න වෙනත් ක්‍රම භාවිතා කරනව. කෙයොස් තියරි (chaos theory) කියන්නෙ එහෙම එකක්. ඒ වගේම ක්වන්ටම් භෞතිකය තුල කියවෙනව උප පරමානුක අන්ශු (sub-atomic particles) මට්ටමෙ සිදුවන ක්‍රියාවලි තුල 'අහම්බයක්' අනිවාර්යයෙන්ම තියනව කියල (http://en.wikipedia.org/wiki/Uncertainty_principle). අපිට වෙන් වෙන වශයෙන් නම් කල නොහැකි හේතු සමුදායක් නිසා වෙන දේවල් වලට නොයෙකුත් දැනුම් පද්ධතීන් තුල නොයෙකුත් නම් කියනව. "දෙවියන් වහන්සේගේ කැමැත්ත", "අහම්බය", "ලෝක ස්වභාවය", "ස්වභාවධර්මය", "chaotic events". මම දැන් කියන්න උත්සාහ කල එකම දේ නම් අපිට එක්වරම හේතුවක් කියන්න බැරි, හෝ එහෙම හේතු සෙවීම අනවශ්‍යයි කියල හිතෙන සංකීර්න ක්‍රියාදාමයන්ට බෞද්ධ දර්ශනය තුල කියන්නේ "ලෝක ස්වභාවය" හෙවත් "ධම්ම නියාමය" කියල. ඕකට ඔනේ නමක් කියන්න පුලුවන්. කොයි නම කිව්වත් එකෙන් කියවෙනෙ එකම දේ. කොයි දැනුම් පද්ධතිය තුලත් අපි කරන්නෙ ඕවාට "ලෝක ස්වභාවය" කියල ෂේප් වෙන එක තමයි. අපිට පැහැදිලි තනි හේතුවක් දෙන්න බැරි දෙවල් වලට කර්මය තනි හේතුවක් විදිහට ගාව ගත්තොත්. කර්ම නියාම සහ ධර්ම නියාම අතර වෙනසක් නැති වෙනව. අපේ හාමුදුරුවරු බොහොමයක් කියන්න පටන් ගත්ත 2004 සුනාමියට අහුවෙලා මැරිච්ච අයට එහෙම උනේ කර්ම පල නිසා කියල. ඔය අර්ථයෙන් "කර්ම පල" අරුත් දැකුවොත් නම් ඉතින් "කර්මය" සහ "දෙවියන් වහන්සේගේ කැමැත්ත" අතර කිසිම වෙනසක් නැති වෙනව. නූතන විද්‍යාවට විකල්පයක් ලෙස වෙනත් දැනුම් පද්ධතියක් ගොඩ නැගීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එක්තරා කාලෙක නලින් ද සිල්වා අදුරු තුමාගෙ මේ ව්‍යායාමයට මමත් සම්බන්ධ වෙලා හිටිය. හැබැයි ඒක කරන්න යද්දි අපි අවංක වෙන්න ඔනේ. නූතන විද්‍යාව තුල තියෙන ප්‍රවාද වැරදියට අරුත් දක්වල, හෝ තමන්ගේ ගොඩට තරුණයන් රැස්කර ගන්න, නූතන විද්‍යාව හරියාකාර තේරුම් ගන්න ඔවුන්ට බාධා වෙන විදිහෙ දේවල් කරනවා නම්, ඒක මහා කුහක වැඩක්. |