මේ සිංහල අවුරුදු සමයේ, නලින් වෙත කරුනාවෙන් ලියමි...

ඔනෑම නූතන සමාජයක ඉදිරි ගමන සිදුවෙන ආකාරය සහ හර පද්ධතීන් අසුරින් සමාජ විඥානය පරිවර්තනය වෙන අයුරු තීරනය කරන්නේ මධ්‍යම පන්තියයි. ජාතික චින්තනයද මෙම මධ්‍යම පන්තිය තුලම බිහිවී ඇත. ඇත්තටම මෙය යහපත් ප්‍රවනතාවයකි. පිටතින් එන සමාජ-ආර්ථික රැලි වලට අනුව ඔහේ පාවෙමින් සිටීන්නේ නැතිව යමක් කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. මට ඇති එකම ප්‍රශ්නය මෙම චින්තනය තුලින් බලපොරොත්තු වෙන ප්‍රතිපලය අත්වේද යන්න පමණි.

ඔබ අමතන්නට මේ තරම් කාලයක් වැය කරන්නෙ මම ඔබගේ දර්ශනය 90% පිලිගන්නා නිසාත්, ඔබගේ දේශපාලනය 90% ප්‍රතික්ශෙප කරන නිසාත්ය. ඔබගේ දේශපාලනය යනුවෙන් අදහස් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී සිටීම නොවේ. ඒ පිලිබඳව මට ගැටලුවක් නැත. ඔබගේ භයානක දෙශපාලනය නම් මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටීමයි. ඇත්තටම ඔබ ප්‍රසිද්දියේ මර්වින් වෙනුවෙන් පෙනී නොසිටී. ඔබ පෞද්ගලිකව මර්වින්ට අකමැති වන්නටද පුලුවන. කෙසේ වුවත් ඔබගේ දර්ශනය ඔස්සෙ ගොඩ නැගෙන දේශපාලන මිනුම් දඬු අනුව, අපගේ අතීත සාරධර්ම ගැන නන්දෙඩවීම, නූතන හර පද්ධතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා වැදගත්වේ. මර්වින් යනු පෞද්ගලික ජීවිතයේදි කුමක් කලත්, ජනතාව ඉදිරියේ "අතීත සාරධර්ම" ගැන දොඩවන, ඔබ විසින් "බටහිර" යයි ලේබල් ගසා ප්‍රතික්ශේප කරන නූතනත්වයේ හර පද්ධතීන් (modern value systems) ගැන හාංකවිසියක් වත් නොදන්නා පුද්ගලයෙකි. බටහිර විරෝධය හා ජාතිකවාදය වැනි ව්‍යාජයන්ට මුවා වෙමින්, කලින් ඇගැයීමට ලක් වෙමින් පැවති සියලු හර පද්ධතීන් සියල්ල බටහිර සංකල්ප යයි අර්ථ දක්වමින්, තමන්ට ඕනෑ අන්දමේ විකෘතීන්ගෙන් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමෙ ඔබගේ ව්‍යාපාරයෙන් අවසන් ලාභය ලබන්නේ කවුරුන්ද?

"කැලණියේ සිල්වා දෙපල" ලෙස අනාගතයේදී ඔබ තුමන්ලා දෙපල හැඳින්වීමට ඉඩ ඇත්තේ, කැලණිය සරසවිය තුල වර්ධනය කරන ඔබගේ අතීතකාමි "නලින් සිල්වා" න්‍යායෙන් අනුහසින්, කැලණිය ප්‍රාදේශීය බල ප්‍රදේශය දහතුන්වන සියවසට රැගෙන යන "මර්වින් සිල්වා" ක්‍රියාදාමය සාධාරනීකරණය වන බැවිනි. ඔබගේ හා එතුමාගේ නම එකම වාක්‍යය තුල සඳහන් වීම ගැන ඔබ නොරිසි නම්, අඩු ගනනේ ඔබගේ නාසය යට සිදුවන මේ මැරවින් ක්‍රියාදාමය ඔබ අනුමත කරන්නේද නැද්ද යන ඍජු ප්‍රකාශයක් කිරීමට ඔබට ශක්තිය ඇතැයි සිතමි. ඔබට එසේ ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නොමැති නම්, රට මේ දැන් යන අත ඉතා අගනේය යනුවෙන් දිවයින පුවත්පත හරහා පුන පුනා කියැවෙන ඔබගේ මතය එතැනින් නිශ්ප්‍රභා වෙනවා නොවේද? 

ඔබගේ ප්‍රවාදය තුල දේශපාලනමය හේතුවක් නිසා 'සංස්කෘතිය' යන්නට අනවශ්‍ය වැදගත් කමක් දී තිබෙනවා. එමෙනම සංස්කෘතිය යනු වෙනස් නොවන හා වෙනස් නොවියයුතු ධර්මයක් ලෙස අනවශ්‍ය අර්ථකතනයක් දී තිබෙනවා. අනෙක් හැමදෙයක්ම මෙන් සංස්කෘතියද සාපේක්ෂ හා වෙනස් වෙමින් යන්නක්. ප්‍රාග් ඓතිහාසික යුගයක් පැවති බව හා ඓතිහාසික මූලාශ්‍ර වලින් පෙනීයන පරිදිත් සංස්කෘතිය යනු අපිට පාලනය කිරීමට නොහැකි ආකාරයකින් සීග්‍ර ලෙස වෙනස් වෙනක් බව නොපිගන්නා දර්ශනයකට පැවැත්මක් නැත. මෙම වෙනස් වීමෙ ස්වභාවයට අනුගත වන දර්ශනයකින් පමනයි මානව ප්‍රශ්න විසඳිය හැක්කේ.

ඒ වගේම ඔබ වර්තමාන ලෝකයේ සංස්කෘතීන් අතර ඇතිවී ඇති ලෙහන්න බැරි සහ-සම්බන්දය අමතක කරල මනෝරාජික "එකීය" සංස්කෘතික සිහිනයක් දකිනව. 'බටහිරයන්' කලදේ හරි වැරද්ද කෙසේ වෙතත් ඔබගේ චින්තනයේ ප්‍රායෝගික බව ගැන හිතන්න ඔනේ නේද? අද මේ රටෙ ඉන්න උගත් පුද්ගලයන් බොහොමයක් ඉන්නේ දේශීය සහ විදේශීය සංස්කෘතික මිශ්‍රනයක් තුල. ඔබගේ දරුවන් පවා තෝරාගෙන ඇත්තේ මිශ්‍ර (තුප්පහි?) සංස්කෘතියක්. කරන දෙයක් මේ අයට පිලිගත හැකි රාමුවක කරන්න ඔනේ. නෝවාගේ නැව පිලිබඳ ප්‍රවාදය අද බොහෝ ක්‍රිතියානි ආගමිකයින්ද පිලිගන්නෙ නැහැ වගේ, "සම්‍යක්දෘශ්ටික දෙවි-දේවතාවන්ගේ පුන්‍යබලය හීන වීම නිසා අකලට වැසි වසී" කියල කිව්වහම මේ රටේ ඉන්න උගත් බෞද්ධයන් හිතන්නේ නලින්ට පිස්සු කියල. ඒ කතාව අමතක කරමු. ලෝකයේ දැනට පවතින බල ව්‍යුහය (power structure) එක් වරම බිඳ වැටෙන්නේ නැහැ. නූතන සංස්කෘතික මිශ්‍රනය මේ බල පද්ධතියේ වැදගත් කොටසක්. ඉස්ලාම් මූලධර්මවාදීන් මේ සත්‍යය වටහා නොගත් නිසා තමයි ඔවුන් අද වියරු වැටුන ත්‍රස්තවාදීන් වෙලා තියෙන්නෙ. "සිංහල බෞද්ධ" තරුණයන්ද මේ වගේ අන්තයකට යාම දකින්න අකමැති නිසා තමයි මම මේ හැටි මේ ගැන වදවෙන්නේ.

පොල්ගෙඩිය බිම වැටීම යන නිරීක්ෂනය සංස්කෘතියට සාපේක්ෂ නොවන බව හා ලොව දැනට ඇති සංස්කෘතීන්ගෙ වෙනස්කම් සියලු මානවයන් පොල්ගෙඩි බිම වැටෙන බව එකසේ නිරීක්ෂනය කිරීමට හා එය සාධාරන දැනුමක් ලෙස පිලිගැනීමට බාධාවන තරම් ප්‍රබල නොවේ. සංස්කෘතික වෙනස්කම් පාදක කොටගෙන මිනිසාගේ සහජ ඉවෙන් ඔබ්බට යන කෘත්‍රිම දැනුම් නිර්මාණය කිරීමට යන ඔබගේ දර්ශනය, චුවින්ගම් මෙන් හපමින් රසකිරීමට මිස වෙනත් ගුනාත්මක කටයුත්තකට උපයෝගි කරගත නොහැකි බව මගේ වැටහීමයි.

මිනිසාගෙන් ස්වයාවත්තව පවතින වාස්තවික යථාර්තයක් ගැන හැඟීම, "බටහිර" චින්තනය නිසා ඇතිවන්නක් බව මම නොපිලිගනිමි. පුරාණ වෛදික යුගයේ සිට දඹදිව පැවති දර්ශනවාදයේ අස්තික-නාස්තික (http://en.wikipedia.org/wiki/%C4%80stika_and_n%C4%81stika) බෙදීමෙන් පටන්ගෙන, අතුලමින් බෙදෙමින් ආ නොයෙකුත් දර්ශනවාද තුල වාස්තවික යථර්තයක පැවැත්ම හෝ නොපවැත්ම සාකච්ඡාවට ලක්ව ඇත.

තමන්ගෙන ස්වයායත්තව පවතින යථාර්තයක පැවත්ම පිලිබඳ අදහස මිනිසාගේ 'සහජ ඉවක්' ලෙස මම කල්පනා කරමි. ප්‍රාග් ඓතිහාසික මානවයන් සිය පැවත්ම සඳහා ස්වභාවධර්මය සමග නිරන්තර සටනක යෙදුන අතර. තමුන්ට එරෙහිව පවතින යථාර්තයක් හා ඒම යථාර්තය සමග පොරබදා ජයගැනීමේ ජන්ම ගතියක් අප සැම තුල වේ. මෙම සටනින් මානවයා ජයගෙන පරිසරය පරාජය වෙමින් යන මේ සමයේදී, අපගේ පැවැත්ම සඳහා වෙනත් ආකාරයක් 'ඉවක්' ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය ගැන විවාදයක් නැත.

ඔබගේ දර්ශනය වටා පිරිසක් එකතු කර ගැනීමේ අපේක්ෂවෙන් පටු ගෝත්‍ර වාදය වැපිරීම මට තේරුම් ගත හැක. නමුත් එසේ එකතුවෙන පිරිස් තත්වයෙන් බාල බැවින් ඔවුන් ඔබගේ දර්ශනය තේරුම් ගැනීමට ප්‍රථම තේරුම් ගන්නේ වර්ගවාදයයි. ඇත්තටම ඔබගේ චින්තනයට සමාන චින්තනයක් ඇති බොහෝ දෙනෙක් 'බටහිරයන්' අතරද සිටිති ගෝත්‍ර වාදය වැපිරීම නවත්වන්නේ නම් විකල්ප චින්තනක් වශයෙන් ලෝකය තුල ඉදිරියට පැමිනීමට ඔබගේ චින්තනයට හැකි වෙනවා ඇත. මාගෙ චින්තන රටාවද වඩාත් සමීප වන්නේ වාස්තවිකව පවතින යථාර්තක් පිලිබඳ සංකල්පය පදනම් නොකරගත් දර්ශනයන්ට බව ඔබට දැන් වැටහී ඇතයි සිතමි. ඔබ ඇතුලු ජාතික චින්තකයන් ගැන මාගෙ පවතින උනන්දුව මේ හේතුව නිසා වේ.

ඉහත මම සඳහන් කල දෙයක් නැවත කියන්නේ නම්, අල්පේච්ඡතාව හා පරිසරය සමග සහජීවනයෙන් ජීවත්වීම යන ගුනාංග අපේ සංස්කෘතිය ඇසුරින් ලෝකයට දිය හැකි හරයන් වේ. ඇත්තවශයෙන්ම කියන්නේ නම් ආර්ථික වශයෙන් දියුනු රටවල මධ්‍යම පන්තිය හා පහල මධ්‍යම පන්තිය මෙම හර පද්ධතීන් සීග්‍රයෙන් වැලඳ ගනිමින් සිටී. ලංකාවේ පහල මධ්‍යම පන්තිය තුල මෙවන් සංකල්ප ජනප්‍රිය නොවන්නේ ඔවුන් කෘත්‍රිමව ඇතිකරන ලද අවශ්‍යතා (consumerism) නිසා කෘත්‍රිම ආර්ථික බරකින් පීඩිතව, සහ හර පද්ධතීන් අතර අතරමංවද සිටිම බැවිනි. අපගේ අතීත "සාරධර්ම" යනු ඔවුන්ට උදාන වාක්‍යයක් පමණි, පිලිපදින්නක් නොවේ. පශ්තාත් නූතන මිශ්‍ර සංස්කෘතියේ (cosmopolitan culture) එන පශ්තාත්-නූතන (post-modern) හර-පද්ධතීන් (value systems) ඔවුන්ට ගෝචර වීමට තරම් ප්‍රබල ලෙස ලංකාව තුල ක්‍රියාත්මකවීමක් හෝ සංවාදයට ලක්වීමක් සිදු නොවේ. මේ සමාජ ආර්ථික අතරමංවීම නිසා ලංකාවෙ පහල මධ්‍යම පංතිය සහ මධ්‍යම පංතිය තුලින් බොහෝ විට බිහිවෙන්නේ හරසුන් පුද්ගලයන්ය. මේ හරසුන් මධ්‍යම පන්තියට ආගම යනු සිය කුහකත්වය වසා ගැනීමේ සහ අනන්‍යතා අර්බුදය විසඳා ගැනීමේ මාර්ගයක් පමනි. ජාතික චින්තන්ද තම තෝරාගත් ආගම වන බුද්ධාගම සමග බැඳී පවතින බව දකින මෙම මධ්‍යම පාංතිකයෝ එයට ආකර්ශනය වෙති. එමෙන්ම සිය සන්තානයේ පවතින ගෝත්‍රවාදයද මෙම චින්තනය තුල සාධාරනීකරනය වෙන බවක්ද පෙනන නිසා එය ඔවුන්ට වඩාත් ගෝචරවේ. මාධ්‍ය යන්ත්‍රය විසින් උදේ සවස බෙදාහරින බටහිර විරෝධයද ජාතික චින්තනය සමග පෑහෙන බැවින් එතැනද ආකර්ශනයක් ඇත.

නලින්ද සිල්වා ඇතුලු ජාතික චින්තනයේ සැබෑ නියමුවන් සිය කර්ත්‍යවය කිසියම් අවංකභාවයකින් යුක්තව කරන බව මම දනිමි. මට ඔවුන් සමග බුද්ධිමය වශයෙන් එකඟතාවයක් (intelectual agreement) නොමැති වුවද කිසියම් ගරුත්වයක් ඇත. අවාසනාවට මෙම සංකල්ප සමග බද්ධ වන බහුතරය තවමත් සිටින්නේ පාසැලෙන් හා සමාජයෙන් ඉගැන්වූ කාටිසීය රේඛීය චින්තනය තුල බැවින්, ජාතික චින්තනය තුල දැනුම් නිර්මාණයේ ක්‍රමවේදය වන නිර්මානාත්මක සාපේක්ෂතාව තුලින් බිහිවන සියලු ප්‍රවාදද ඔවුන් තේරුම් ගන්නේ වාස්තවික සත්‍යයන් (objective truths) ලෙසය. මේ තත්වය තුල බිහිවෙන දෙබිඩ්ඩන් සමාජයට තවත් බරක් මිස, හරවත් යමක් එකතු කරන පිරිසක් නොවනු ඇති බව මගේ හැඟීමයි.
Comments