Jesus of Nazareth

Original Article : http://taboosubjects.wordpress.com/2010/12/25/217/

ලේඛකයා කෙදිනක හෝ කිතුණුවකු නොවීය. ඔහු බයිබලය මුළුමනින්ම වාගේ කියවා ඇති මුත් ඒ එහි අපූර්ව සාහිත්‍ය රසය පිණිස මිස ආගමිකාර්ථයකින් නොවේ. යේසුස් ක්‍රිස්තුස් ගැන අසන විට තවමත් ඔහු සිතෙහි මැවෙන චිත්ත රූපය බෙන්හර් සිතුවම් පටයෙහි කථානායකයා වහලකුව යදමින් බැඳ ගෙන යද්දී ඔහුට පැන් පොදක් දෙන මිනිසාය. මේ නිසා යේසුස් ක්‍රිස්තුස් ගැන නිරුවත් ඇසෙකින් බලන්ට ඔහුට හැකිය. (Jesus Christ යන නම සිංහලයට පෙරැළීමේ සම්මතයම ඔහු අනුගමනය කරයි. සිංහල විකිපීඩියාවට අනුව, යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් “යොහෝවා ගලවා ගනියි” යන වදනින් බිඳී ආවකි. කි‍්‍රස්තු යන්න ග‍්‍රීක ක‍්‍රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය “අභිෂේක ලත් තැනැත්තා” ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.)

ආගමික සළු පිළි ඉවත් කරනු ලැබූ කල්හි යේසුස් ක්‍රිස්තුස් නම් කවුරුද?

අඩු හෝ වැඩි ලෙසින් මේ බෙන්හර්හි අප දකින මිනිසාමය. වසර දෙදහසකට ඔබ්බෙන්, රෝම අධිරාජ්‍යයේ කෙළවරෙක එවක ඊශ්‍රාලයෙහි, යුදෙව් සමාජයේ තරුණ වඩු කාර්මිකයෙකි, යේසුස්. අද මිනුම් දඬු අනුව ඔහු තරුණයෙකි. (ඔහුගේ මරණය සිදුවන්නේ වයස අවුරුදු 33දී බව පොදු පිළිගැන්මය.මෙය නිශ්චයක් නොවතුදු කිසිම මුලාශ්‍රයකට අනුව ඔහු වසර හතළිහකට වඩා ජීවත් වූ බවට සාක්ෂ්‍ය නොවේ.) කෙසේ වෙතත් අපේක්ෂිතායු කාලය දිගු නොවූ එකල ඔහු සමාජයේ වැඩිහිටියකු සේද ගණන් ගැණුනා විය හැකිය. ඔහුගේ මුහුණ අද අප කිතුණු දේවස්ථානයන්හි දකින සිත්කළු, ශාන්ත රුවින් බෙහෙවින් වෙනස් වූවා විය හැකිය. (මේ රුව යේසුස්ට ආරෝපණය කරන ලද්දේ ඔහු කිසිදිනෙක නුදුටු මධ්‍යතන යුරෝපීය සිත්තරුන් විසිනි. එහිදී සිත්තරුන් එවක සමාජයෙහි කඩවසම් තරුණ මුහුණු එපිණිස යොදා ගත්තේය සිතිය හැක්කේය.) අප පිළිගැනීමට කැමැති වුවද නැතද, වඩා පිළිගත හැකි මුලාශ්‍ර වලට අනුව ප්‍රතිනිර්මාණය කරනු ලැබූ යේසූස්ගේ මුහුණඅද නිර්නායකයන් අනුව අපට හුරු පුරුදු මුහුණට වඩා විරූපීය. මෙය යේසුස්ට පමණක් නොව ගෞතම බුදුන්ටද අදාළ විය හැකිය. පරිණාමයට අනුව වසර දෙදහසකට පෙර ජීවත් වූ මිනිසුන්ගේ මුහුණු පොදුවේ අදට වඩා විරූපී විය යුත්තේය. එය පිළිගැන්ම ඔවුන්ට කරන අගෞරවයක් නොවේ.

එසේම පොදු විශ්වාසයට එරෙහිව, යේසුස් විවාහ වූවාද, දරුවන් බිහි කළාද විය හැකිය. අඩු වයස් විවාහ පොදු වූ සාම්ප්‍රදායික යුදෙව් සමාජයේ වසර තිහක් වනතුරු කෙනකු අවිවාහකව සිටීම අසාමාන්‍ය බැව් ඉතිහාසඥයන්ගේ මතයයි. ලේඛක ඩැන් බ්‍රවුන් තම ප්‍රකට The Da Vinci Code නව කතාවට පාදක කර ගන්නේ නිසැකවම ඔප්පු නොවූ, එහෙත් සත්‍යයක් වීමට ඉඩ ඇති මේ කල්පිතයයි. Holy Grail යනු බඳුනක් (chalice) නොවන බවත්, මේරි මේඩ්ලිනි (Mary Magdalene) නම් කතෝලික පල්ලිය විසින් තම පටු අභිමතාර්ථයන් උදෙසා වෙසඟනක ලෙස වැරදි ලෙස හඳුන්වාදෙනු ලැබූ යේසුස්ගේ විවාහක බිරිය බවත්, ඇය විසින් යේසුස්ගේ දියණිය හරහා යේසුස්ගේ පරම්පරාව ඉදිරියට ගෙන ගිය බවත් බ්‍රවුන් තම විවාදාපන්න නවකථාවෙන් තර්ක කරයි. (බ්‍රවුන්ගේ ග්‍රන්ථය මහාවංශය සේම ඉතිහාස පොතක් නොව ප්‍රබන්ධයක් බැව් සැලකුව මනාය.)

මේ කතාව ඇත්තක් වුවද නැතද, යේසුස් ක්‍රිස්තුස් යනු එවක සමාජයේ අනෙකුන්ගෙන් දරුණු ලෙස වෙනස් නොවූ සාමාන්‍ය චරිතයක්ද වූවා විය හැකිය. අද ශ්‍රේෂ්ඨයන්සේ අප සලකන සෑම චරිතයක්ම ඒ ශ්‍රේෂ්ඨත්වය ලබා ගෙන ඇත්තේ පසුකාලීන අන්ධානුගාමිකයන් විසින් ඔවුන් සාමාන්‍ය තත්ත්වයන්ට වඩා විශාලනය කිරීමෙනි. (ඇතැම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්ට අනුව ගෞතම බුදුන්ගේ උස සොළොස් රියනක් හෙවත් මීටර් අටෙකි!) මේ අතිශයෝක්තිය විසින් ඔවුන්ගේ සාමාන්‍ය මානුෂීය ගතිගුණ සඟවනු ලබයි.

කෙසේ වෙතත් වඩා වැදගත් වනුයේ යේසූස්ගේ බාහිර ස්වරූපය නොව ඔහුගේ ඉගැන්වීමය. ඔහු දේශනා කළ ධර්මයය.

වසර දෙදහසකට පෙර යුදෙව් විස්වාසයන් අද යුදෙව් විශ්වාසයන්ගෙන් සැලකිය යුතු ලෙස නොවෙනස්ය උපකල්පනය කළ විට අපට නිගමනය කළ හැකි වන්නේ දර්ශනයක් ලෙසින් යේසුස් එවකට ප්‍රචලිත මතයන්ගෙන් අපසරණය (deviate) නොවූ බවය. සර්වබලධර දෙවියන්වහන්සේ විසින් ලෝකය මැවීමේ හා පවත්වාගෙන යාමේ (යුදෙව්?) ඒක දේවවාදී සංකල්පය ඔහු පිළිකෙව් නොකරයි. පැරැණි තෙස්තමේන්තුව ඔහු විසින් ප්‍රශ්න කරනු ලබන්නේ කලාතුරෙකිනි. ඒද යම් යම් සිරිත් විරිත්හි ප්‍රායෝගිකභාවය ගැන මිස දර්ශනය සම්බන්ධයෙන් නොවේ. (උදා: සබත් දිනයේ වලෙක වැටෙන බැටළුවකු ගොඩ ගැනීම වරදක් නොවන්නේ නම් එදින මිනිසාගේ යහපතට ක්‍රියා කිරීම වරදක් නොවේය තර්ක කිරීම. මැතිව් 12:11-12. එතැනදී ඔහු මෝසෙස් ප්‍රශ්න නොකරයි. මෝසෙස්ගේ දස පනතින් එකක් ඔහුගේ අනුගාමිකයින් විසින් නිර්වචනය කිරීම පමණක් ප්‍රශ්න කරයි.)

එසේ වුව ඔහු සමකාලීන යුදෙව් සමාජයේ අනුපමේය වෛරයට ලක්වේ. මේ වෛරය කෙතෙක්ද යත් රෝමානු ආණ්ඩුකාර පොන්තියස් පිලාත්, ඔහුගේ මරණයේ වගකීම ගනු නොරිසිව යේසුස්ට ගැළැවී යාමට නීතියේ සිදුරක් තැනු අවස්ථාවේ පවා ඔවුහු බරබ්බස් නම් සොර දෙටුවකු නිදහස් කොට යේසුස් කුරුසියේ ඇණ ගැසීම එක හඬින් අනුමත කරති.

අද්‍යතන යුදෙව් සමාජය මේසා දරුණු වෛරයක් යේසුස් කෙරෙහි වගා කොට ගන්නේ මන්ද? තමන්ට දාර්ශනික වශයෙන් ප්‍රබල තර්ජනයක් එල්ල නොකරන පුද්ගලයකු ඉතාම කුරිරු වධ බන්ධනයට යටත් කොට මරා දමන්ට තරම් ඔවුන් කෲර වන්නේ ඇයිද?

එක් පැහැදිළි කිරීමක් නම් ගෝත්‍රවාදයයි. ඕනෑම ගෝත්‍රික සමාජයක එහි ඇල්ෆා පුරුෂයාට (alpha male) තර්ජනයක් එල්ල කිරීම ස්ව-විනාශයට මඟ පාදා ගැන්මකි. (උදා: සරත් ෆොන්සේකා) එහෙත් අප නොදන්නා කරුණු වේ නම් මිස යේසුස් සම්බන්ධයෙන් මේ තර්කය ඉදිරියට ගෙන යන්ට පොටක් නැත. එක – යේසුස් පර-ගෝත්‍රිකයකු නොව ස්ව-ගෝත්‍රිකයෙකි. එසේම ඔහු විසින් තර්ජනය එල්ල කරනු ලබන ඇල්ෆා පුරුෂ චරිතයක්ද නොපෙනේ. ඒ පොන්තියස් පිලාත් විය නොහැකිය. යේසුස්ගේ අරගලය රෝම අධිරාජ්‍යයට එරෙහිව නොවේ. ඉතාම නැණවත්ව ඔහු සීසර්ගේ දෙයින් දෙවියන් වහන්සේගේ දේ තෝරා බේරා ගනියි.

වඩා පිළිගත හැකි පැහැදිළි කිරීම පිණිස අපි කාල් මාක්ස් කරා යායුතු වෙමු. මාක්ස්ගේ වචනයෙක් ප්‍රකාශ කරන්නේ නම් යේසුස් පන්ති අරගලයේ ගොදුරකි. (මාක්ස් හෝ පසුකාලීන මාක්ස්වාදී ලේඛකයකු මේ නිරීක්ෂණය කළේද මම නොදනිමි.)

ඕනෑම ප්‍රාථමික වැඩවසම් සමාජයක ආගම යනු බලය හා ධනය ඇත්තවුන්ගේ ප්‍රවේණි උරුමයකි. අර්ධ-මානවයන් සේ දිවි ගෙවීමට සලසා ඇති පීඩිතයන්ගෙන් ඔවුහු ආගම ඇදැහීමේ නිදහස පවා උදුරා ගනිති. පුරාණ භාරතයේ මෙන් දෙව් මැදුරු තහනම් අඩවි නොවූවත් අවකාශ නැතිවීම හෝ සමාජ තහංචි නිසා ආගම හා දිළින්දන් අතර යම් හිඩැසක් වූවා විය හැකිය. යේසුස් පුරවන්නේ මේ හිඩැසයි. ඔහු ධනයේ හෝ බලයේ හිමිකරුවන් නියෝජනය නොකරයි. උපතින්ද, වඩු කාර්මිකයකු සේ වෘත්තියෙන්ද ඔහු වැඩ කරන ජනතාවගෙන් එකෙකි. ඔහුගේ අපෝස්තලුන්ද (apostles) ධීවරයන්, බදු එකතු කරන්නන් බඳු සාමාන්‍ය මිනිසුන්ය. යේසුස්ගේ ශ්‍රාවක පිරිස බිහි වන්නේද ධනවතුන් අතරින් නොව දිළින්දන් (විශේෂයෙන්ම ධීවරයන්) තුළිනි. “දිළින්දෝ ආශිර්වාද ලද්දෝය; මන්ද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය” (මැතිව් 5:3) වන් කියමන් නිතැතින්ම සිහිගන්වන්නේ “Workers of the world unite; you have nothing to lose but your chains” බඳු කියමන්ය. පන්තිය යන වචනය භාවිතා නොකළද යේසුස් ආමන්ත්‍රණය කරන්නේ එක් සුවිශේෂී පන්තියකටය. ඔහු ඔවුන්ගේ ගැලැවුම්කරුවා සේ පෙනී සිටී. මේ තර්ජනය ඔහු ඉතාම කෲර මරණයකට පත් කිරීමට හේතුව සේ සිතිය හැකිය.

යේසුස් සාම්ප්‍රදායික යුදෙව් සමාජයේ රඟපාන මේ භූමිකාවමය, ගෞතම බුද්ධ සාම්ප්‍රදායික හින්දු සමාජයෙහි මඳක් වෙනස්ව රඟපාන්නේ. බුද්ධකාලීන හින්දු සමාජයද බමුණන්ට මිස අවශේෂයන්ට ආගම ඇදැහීමක් තහනම් කළ එකකි. මේ තහංචිය නිර්භීතව බිඳ යන ගෞතම බමුණු කුලයේ ප්‍රවේණි උරුමයක් වූ ආගම ‘ජනසතු’ කරයි. ඔහු යේසුස් තරම් කුරිරු ඉරණමකට ලක් නොවන්නේ ක්ෂ්ත්‍රිය කුමාරයකු නිසාය. නැතොත් ගෞතමටද නඟින්ට වන්නේ යේසුස් නැඟුණු කුරුසයටමය. යුදෙව් ආගම ඒක-දේවවාදී වීමත් හින්දු ආගම බහු-දේවවාදී වීමත් මෙහිලා වෙනසක් නොකරයි. ගෞතම, යේසුස් පමණක් නොව මාක්ස් සම්බන්ධයෙන්ද සත්‍යයක් වන්නේ අවසානයේ ඔවුන් දේශනා කළ ධර්මය රැකෙන්නේ ඔවුන් උපන් බිම තුළ නොවන බවය. යේසුස් උපන් බෙත්ලෙහෙම ඔහු උපත ලෝකයේ අඩුවෙන්ම සැමැරෙන තැනෙකි. මේ සියළු ශාස්තෲන් තමන් උපන් බිම ඇති ඒකාධිකාරී බලයන්ට කොයිතරම් දැවැන්ත තර්ජනයක් එල්ල කළේද කියතොත් ඔවුන්ගේ මරණයෙන් ඉතාම කෙටි කාලයකට පසුව ඒ දහම ඒ බිමින් අතුගෑවී යන තැනට එකී ඒකාධිකාරී බලයන් කටයුතු කරති. ඒ ධර්මයන් සෛද්ධාන්තිකව හෝ රැකෙන්නේ අන් කිසිවකු විසින් අහුලාගෙන වෙන තැනෙක පැළ කිරීම තුළිනි.

කෙසේ වෙතත්, යේසුස් හා ගෞතම සම්බන්ධයෙන් පමණක් නොව මාක්ස් සම්බන්ධයෙන්ද අවාසනාවන්තම සත්‍යය මෙය නොව, ඔවුන්ගේ අනුගාමිකයන් විසින්ම තම ශාස්තෲවරුන් විසින් දිවි හිමියෙන් බිඳ දමන්ට තැත් කරන ලද සංස්ථානය (establishment) ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගෙ නම යොදා ගැන්මයි. (උදාහරණයක් හැටියට අද ලංකාවේ බුද්ධ රූප යොදා ගැනෙන්නේ පුද පූජා පවත්වන්ටත් ඊටත් වඩා “මේ අපේ සිංහල-බෞද්ධ වැයික්කියය” ලේබල් ගසා ගන්ටත්ය. බෞද්ධයින්ට වඩා අබෞද්ධයින්ගේ බදු මුදලින් නඩත්තු වන කොළඹ මහ නගර සභා පුස්තකාලය පවා දැන් එය මුර කිරීමේ කටයුත්ත බුදු පිළිමයකට භාර දී තිබේ. තව ටික දවසෙකින් අපට පොදු වැසිකිළි වල පවා බුදු පිළිම අටවාගෙන “මේවාත් අපේ තමා බොල!” යැයි කියන්ට පිළිවන.) යේසුස් ගේ මරණයෙන් පසු ගතවූ සියවස් විස්සෙක කාලය තුළ කතෝලික පල්ලිය කටයුතු කර ඇත්තේද මේ ආකාරයෙන්ම යේසුස් විසින් ඍජුව පහර දෙනු ලැබූ යුදෙව් සංස්ථානයට වඩා දරුණුවූත් ශක්තිමත්වූත් කතෝලික සංස්ථානයක් ගොඩ නඟා ගැන්ම සඳහාය. මේ කතෝලික පල්ලිය තමන්ගේ මතයන්ට විරුද්ධ වූවන් යේසුස් කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළාසේම, දරුණු හා කෲර වධ හිංසනයන්ට ලක් කළ එකකි. උදාහරණයක් හැටියට ඉතාලි ජාතික ආකාශවස්තු පර්යේෂකයකු හා ගණිතඥයකු වූ ගියෝඩානෝ බෲනෝ (Giordano Bruno, 1548 – 1600) ගිණි තබා මරණයට පත් කරනු ලබන්නේ, බයිබලයේ ඉගැන්වීම්වලට එරෙහිව, විශ්වයේ අනන්ත ස්වභාවය ප්‍රකාශ කිරීම නිසාය. ගැලිලියෝ ගැලිලි වැනි සම්භාව්‍ය ශාස්ත්‍රඥයකු නිවාස අඩස්සියට නතු කරනු ලබන්නේද කිතුණු පල්ලියේ ඒකාධිකාරී බලය විසිනි.

කිතුණු ආගම පිළිබඳව අද අපට සතුටු විය හැකි එකම කාරණාව එය ප්‍රතිසංස්කරණය වූ ආගමක් වීමයි. කුඩා අන්තවාදී කිතුණු කල්ලි කිහිපයක්ද, සම්මත කතෝලික, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත, බැප්ටිස්ට්, රෙපරමාදු, ප්‍රොතෙස්තන්ත ආදී සර්ව නිකායික පල්ලින්හි ආචීර්ණකල්පික (hardcore) සුළුතරයක්ද හැරුණු විට පොදු කිතුණුවා අද ආගම, ජීවන දර්ශනය ලෙස නොව ආගම ලෙසින් දකින්නෙකි. දෙවියන් වහන්සේ විසින් ලෝකයද, ආදම් හා ඒවද මැවීම, පෘථිවි කේන්ද්‍රිත්වය වැනි කාරණා තව දුරටත් කිතුණු ලෝකයට අනදාළය. “මිනිසකු ගැහැනියක සමඟ සැතැපෙන ආකාරයෙන් තවත් මිනිසකු සමඟ නොසැතැපිය යුතුය. එය ජුගුප්සනීය ක්‍රියාවකි” (Thou shalt not lie with mankind, as with womankind: it is abomination: Leviticus 18:22) යන බයිබල් පාඨයද, සොඩොම් සහ ගොමෝරා දෙනගර දෙවියන් වහන්සේ විසින් උත්පාටනය කිරීමද සහමුලින්ම අමතක කොට අද ලොව කිතුණු ආගම අගතැන් රටවල් ගණනෙක සමරිසි විවාහ (Gay Marriages) නීති ගත කොට ඇත. පරිණාමවාදයට පාසල් හා සරසවි විෂයමාලාවන්හි ආගමික ඉගැන්වීම් වලට වඩා බර දී තිබේ. කොන්ඩෝම භාවිතයට කතෝලික පල්ලිය විසින් පනවා ඇති තහනම කිසිම රටක් තම නීති පද්ධතියට ඇතුළු කිරීමට තරම් සීරියස් නොගනී. වෙනෙකක් තියා කතෝලික පල්ලියට ඍජු තර්ජනයක් එල්ල කළ The Da Vinci Code සිතුවම් පටය පවා තහනම් කරන්ට පවා කිසිම කිතුණු බහුතරයක් වෙසෙන රටක් කටයුතු නොකළේය. මේ සිතුවම් පටය තහනම් කළ එකම රට ලෙස ලේඛකයා දන්නේ ලංකාවය. (වැරදි නම් නිවැරදි කරන්න.)

ඉහත පරිවර්තන සියල්ල සමාජ ආර්ථික (හා ජීව විද්‍යාත්මක) කාරණා මත ඇති වූ ඒවා මිස යේසුස් ගේ අනුගාමිකයන් විසින් ඔහුගේ ක්‍රියා නිවැරදිව අරුත් දක්වා ආදර්ශය ගැනීමෙන් වූ ඒවා ලෙස සැලකිය යුතු නොවේ. එනයින් යේසුස් සිටින්නේද තවමත් අනෙකුත් ශාස්තෲන් සිටි තැනමය. ඔහු විසින් අභියෝගයට ලක් කළ සංස්ථානය ඔහුගේ අනුගාමිකයෝ තවමත් ඔහුගේ නමින් ගොඩ නඟමින් සිටිති. එහෙත් එය යේසුස්ගේ වරද සේ හැඳින්වීම අකාරුණිකය. තමා විසූ සමාජය තුළ සමාජ පරිවර්තනයක් කිරීමට උත්සාහ දැරූ මේ තරුණයා ඒ සමාජ පරිවර්තනයේ ප්‍රතිඵලයක් සේ පසු කළෙක යුරෝපයේ කතෝලික පල්ලිය නම් දැවැන්ත සංස්ථානය ගොඩ නැඟේය සිතුවේයැයි උපකල්පනය අප්‍රඥාගෝචරය. වෙනත් බොහෝ මිනිසුන් සේම යේසුස්ද ලෝකය නැමැති රඟ මඬලේ තමන්ට හිමිවූ කුඩා චරිතය රඟපෑ කෙනෙකු පමණෙකි. ඒ කුඩා ප්‍රසන්න රඟපෑම විසින් ඔහු අමරණීයත්වයට පත් කොට ඇත්තේ

December 25, 2010 at 4:52 am

හොඳ මාතෘකාවක් ටැබූ.කරුණු කීපයක්.

ඩා වින්සි කෝඩ් තහණම් කළේ ලංකාවෙයි ලෙබනනයෙයි. දෙරටේම කිතුණුවන් සුළුතරයක් වුවත් බලපෑම් කළ හැකි තරම් ප්‍රබලයි. දෙරටේම ජන කොටස් අතර මූලික ව පැතිරී ගිය නොහොඳ නෝක්කාඩුවක් තිබ්බා [ලංකාවේ මෙහි එක් පැත්තක් කෙළින් ම කතෝලික නොවුනත්, දෙමළ ජනයාට ප්‍රබල නියෝජනයක් ඇති බලවත් ම ආයතනය වූ කහෝලික පල්ලිය පහුගිය යුද්ධෙදි ක්‍රියා කළේ රෑ දනියෙල් දවල් මිගෙල් වගේ. නැතත් මේක තහණම් නොකරා නම් ඔවුන් වෙනස් ප්‍රශ්ණයක් නගන්න තිබ්බා. ආගමික බෙදුමක්.

ඔබට පේනවාද මා යන තැන. බලවත් සුළුතරයකට ඇතැම් විට සියළු දෙනාගේ ම මූලික නිදහස යටපත් කරන්න පුළුවන්. විශේෂයෙන් ම වෙනස් කම් හා ගැටුම් ඇති තැන් වල. මොකද මේ වගේ "පොඩි" සීන් එකක් හොඳ හිත වෙනුවෙන් අල්ලලා දාන්න බලවතුන් කැමතියි.

හැබැයි මහජන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රකාශණ අයිතිය ගැන අසීමාන්තික ව පෙනී හිටිමින් බණ දේශණා කරන පල්ලිය මේ පුංචි සිද්දියෙන් පෙන්නුවා ඔවුන් මොන තරම් හොඳින් අප ව කඩේ යවනවා ද කියලා. ලින්කන් පප්පාට ඌණ පූරණයක් අවශ්‍යයි. "එකෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අනිකා ඌ ගැන කතා කරන තුරුය" [උදා: විකිලීක්ස්]

ඩා වින්සි කෝඩයේ බොහෝ දුර්වලතා තියෙනවා. හුදෙක් නිර්මාණයක් මිස කිසිම විද්‍යාවක් හෝ ඉතිහාසයක් ඉන් තීන්දු නොවන බවත් කිව යූතුයි. විකුණ ගන්න ඕන උනාම කරුණු අඹරලා අප්පා එහා ගෙදර ගෑණිත් එක්ක උන්නා කියලා වැල ෆිල්ම් එකක් වුණත් ගහන්න පුළුවන් [ඒත් බොහොම ශ්‍රේෂ්ඨ] ලේඛකයෙක් ඩෑන් බ්‍රව්න් [බලන්න ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් එකේ විද්‍යාව twist කරන තරම]

ලෝකේ කිසිම ආගමක් එහි පූර්වජයාගෙන් ස්වායත්ත නෑ. මේක හොඳ සාධකයක් කොයි ආගමක් වත් නිරපේක්ෂ සත්‍යයක් නොවන බවට. මං “Of Religion and lack of it” ලිව්වේ ඔය ගැන. කියවා මතයක් එහි ලියන්න.

ජේසු තුමා හොඳ මිනිහෙක්. අදහන්නන් මෙච්චර යහපතක් මොහු ගැන කියද්දි නො අදහන්නන් කිසිම නරකක් කියා හෝ ලියා නෑනෙ. ආගම් බේදයකින් තොරව මා ඔහුට ගරු කරනවා. හැම ශාස්තෲ ම හොඳ මිනිසුන් නොවේ.

ඒත් ඇයි ජේසු තුමාව මරා දැම්මේ. පන්ති කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඒත් පොදු මහ ජනතාව අනිවාර්‍යයෙන් ම අයිති පොඩි පන්තියට. ඔවුන් තුළවත් එතුමා ගැන කැක්කුමක් තිබ්බෙ නැද්ද? ඇයි ඔවුන් ජේසු ව මරන්න දාලා පල් හොරෙක් වන බරබ්බස් ව ඉල්ලුවේ.

මේ ගැන කුතුහලයෙන් හදාරන කොට මට අහු වුණා ජේසු තුමන් ගේ ජීවිත කතාවේ සිද්ධි කීපයක්. උන් වහන්සේ ආපහු උපන් බිමට එන්නේ කාලෙකින්. එන කොටත් ඔහුට හරි පිළිගැනීමක් නෑ. ඒත් එක්ක ම උන් වහන්සේ ජෙරුසෙලමේ [ප්‍රසිද්ධ] දේවාලයට ගොස් බලෙන් එහි දේශණා කරන්නටත් එහි ව්‍යාපාරික වැඩ [අද පන්සල් වගේ] විවේචනය කරන්නටත්, ඉන් ඇතිවන ගැටුමේදී දේවාලයට හානිකර කතා/ක්‍රියා කරන්නටත් පෙළඹෙනවා.

ඔහු පන්සල කැඩුවාද යන්න විවාදාත්මකයි. අඩු ම ගණනේ ඔහු උත්සාහ කරනවා. මෙහෙම කියනවා “destroy this temple, and I shall raise it again in three days” [උපුටාගත් තැන]. මේ කතාව විවිධ අරුත් ගැන්වූවත්, එහි මූලික අරුත සැඟවිය නො හැකියි. මෙයට පසු පන්සල කැඩූ බවත් ඇතැමුන් කියනවා.

කිතුණු සාහිත්‍යයේ මේක පුංචි කතාවක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ඔවුන් සිතන කෙනාට ඔවුන් අද අදහන දේව ධර්මයට අනුව වැරදි සිදු වන දේවාලයක් කඩන්නටත් නැවත තනන්නටත් අයිතියකටත් වඩා වගකීමකුත් තියෙනවනේ.

ඔබෙ නිකමට හිතුවාද මෙය යුදෙව්වෙකුගේ කෝණයෙන්. උන් මෙසය්යා ලෙස නොපිලිගන්නා ඔවුන් ට කරච්චලයක් [තර්ජනයකට වඩා] වූ මිනිහෙක් අවුදින් ඔවුන්ගේ ම දේවාලයේ ලැගුම් ගෙන ඔවුන්ට එරෙහි දහමක් දෙසමින් ඔවුන්ගේ ආගමික වැඩ [අද කාලේ උදාහරණ කිව්වොත් බෝධි පූජා, පඬුරු, බාර වගේ ආගමික වැඩ] විවේචනය කරමින් අන්තිමේදි ඔවුන්ගේ ම දේවාලය කඩන්නට තැත් කිරීම [හෝ කැඩීමට සමත් වීම].

මේක ඔවුන්ට පොඩි කතාවක් නොවේ.

ජේසු තුමා මරා දාන්නේ මීට මාස කීපයකට පස්සෙ කියලයි මට මතක. මේ සඳහා ඔවුන් [යුදෙව් පූජක පන්තිය - යුදෙව් පාලක පන්තියක් නෑ, රෝම කාරයන් උන් ව සුදු වෑන් යවලා] චෝදනා පත්‍රයක් හදනවා. පාලක රෝම කාරයින්ට කියනවා. අහන්නේ නැතුවම, ආගමික නායකයින් තමන්ගේ ම හමුදාවකින් ඇවිත් ඒ වනවිට වන වැදී [හැංගිලා නේද] ඉන්න ජේසු තුමන් හොයාගෙන [ජුදාස්ගෙන් ඔත්තුවක් අරන්] අල්ල ගන්නවා. හොඳටම ගහලා රෝම කාරයින්ට බාර දෙනවා. ඊට පස්සෙ ඔහු ව මරන්න බල කරනවා. රෝම කාරයාටත් බේර ගන්න බෑ. මිනිස්සු ඔක්කොම කියන්නේ මරන්න කියලා. පල් හොරාට පවා නිදහස දෙනවා මේ මනුස්සයා ව මරන්න.

නිකමට හිතන්න, දළදා මළිගාව හරි වෙනත් ඒ වගේ තැනක් හරි තදින් විවේචනය කරන අන්‍යාගමිකයෙක් [අපි හිතමු තාපසයෙක්] ඇවිත් ඒක කඩන්න හැදුවොත් උන්නැහේට යන කළ. මහින්දයාත් මේ ගැන ඇහැ පියාන ඌට කඩන්න ඉඩ දුන්නොත්, ඒ පාර ජනතාව ඔහුට සළකන එකක් නැද්ද?

දැන් මේ කතාවේ කෑලි ටික හරියට සෙට් වෙනවා නේද? දෙවියන් වහන්සේගේ බිලි පූජාවට අදාළ විශ්වාස නොමැතිවත්, සාතන්ගෙ ජඩ වැඩ නොමැතිවත්, කතන්දරේ පැහැදිලි වෙනවා.

මේ ටික ලිව්වේ අපහාසයක් කරන්න නොවේ. විශෙෂයෙන් මොකුත් නො අදහන මට මොන ආගමක් එක්ක වත් තරහක් නෑ. අධ්‍යාපනික අගය සඳහා පමණයි ලිව්වේ.

කරුණු වැරදි නම් නිවැරදි කරන්න

Comments