දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic?Posted by Taboo on December 9, 2010 සිංහල බෞද්ධ වර්ගවාදීන් විසින් තමන්ගේ අනුත්තර ප්රකාශනය සේ සලකනු ලබන, වර්තමාන ආණ්ඩුවේද ඉහළ නිල කිහිපයක් දරණ නිමල් වෙල්ගම නැමැත්තා විසින් පළ කරනු ලබන, දිවයිනම ඊයේ ඔවුන්ට අත දිග හැර කණ රත් වන්ට අතුල් පහරක් දෙන්නේය. ඒ එහි කතුවැකි ලියන්නා වන, ජනාධිපති උපදේශක තනතුරක්ද දරණ අනුර සොලමන්ස් නැමැත්තා, වෙනදා කිරිබත්ගොඩ ඤාණානන්ද බඳු “පින්වත් බෞද්ධ ධර්මධර ලොකු ස්වාමීන් වහන්සේලා” (ඔවුන්ගේ වචන) වෙනුවෙන් භුක්තියට ලියා දී තිබූ නාම විශේෂණ සෙට් එකම භාවිතා කොට කතෝලික කාදිනල් මැල්කම් රංජිත් උඩ මළුවට ඔසවා තබන වර්ණනාවක් කිරීමෙනි. (බෞද්ධාගමික පදයන්ගෙන් බැහැර වාග් මාලාවක් කිතුණු ආගම සඳහා තනා ගන්ට බැරිවීම අපේ රටේ අනුර සොලමන්ස් බඳු බොල් මාධ්‍යවේදීන්ගේ නිර්මාණ ශක්ති හීනතාවය පිළිබඳ ගැටළුවකි. අනුර සොලමන්ස්ගේ ආගම කවරේද අපි නොදනිමු.) අනේ, පසුගිය සඳුදා පුවත්පත සමඟ ඔප කඩදාසියේ මුද්‍රිත මැල්කම් රංජිත්ගේ ඡායාරූපයක් බෙදා දෙන්නේද වෙනදාට නත්තලටවත් ජේසුස් ක්රිස්තූන්ගේ පින්තූරයක් බදා නොදෙන දිවයිනමය. නිමල් වෙල්ගමට දැන් තව්තිසාවට එන්ටර් වෙන්ට බැරි වුණොත් ස්වර්ගයේවත් සීට් එකක් ලැබෙණු ඇත. ඒකත් ජයසිරි මංගලම් කීවාලු! අනුර සොලමන්ස්ගේ බටර් පාර මෙසේය.
මෙය එක්තරා ආකාරයකට දිවයිනට තමන්ගේම වචන ගිල ගන්ට සිදුවූ අවස්ථාවක් සේද සැලකිය හැකිය. මන්ද පසුගිය මාසයේ 21වැනිදා මේ නිමල් වෙල්ගමගේම මේ දිවයිනටම චතුර පමුණුව නැමැත්තා ලියන්නේ මීට වෙනස් කතාවක් නිසාය. ඒ මෙසේය.
මේ වත්මන් රූපාන්තරණය එක අතෙකින් සිංහල බෞද්ධයින්ගේ සට කපටකම පෙන්නුම් කරන අවස්ථාවෙකි. මොවුන්ට දැන් වැදගත්ව ඇත්තේ කුල ගොත් වෙනසකින් තොරව, තමන් වෙනුවෙන් කඩේ යන්ට කැමැති ඕනෑම කෙනකුට ඒ අවස්ථාව ලබා දීමය. කතෝලික මැල්කම් රංජිත් පමණක් නොව දෙමළ ත්රස්තවාදීන් වූ කරුණා අම්මන්ද, පිල්ලෙයාන්ද, කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. ද, මුස්ලිම් රවුෆ් හකීම්ද, වාමාංශික වාසුදේව නානායක්කාරද අද ඉටු කරන්නේ දෙවියන් වහන්සේගේ හෝ අල්ලාගේ හෝ කාල් මාක්ස්ගේ හෝ නොව සිංහල බෞද්ධ සීසර්ගේ උවමනාවන්ය. කඩේ යන තාක් කල් සීසර්ටද සීසර්ගේ බැළයන්ටද මේ හැමෝම ගුඩ් බෝයිස්ලාය. මල්වතු, අස්ගිරි මහනායක බෝයිස්ලාටද වඩා වැදගත් ගුඩ් බෝයිස්ලාය. අනෙක් අතට මේ සිංහල බෞද්ධ වර්ගවාදීන්ගේ අසරණකම හා නිවටකම කියාද අරුත් දැක්විය හැකිය. වැඩි ඈතක නොව ගිය මාසයේ සංහිඳියා කොමිසම ඉදිරියේ තමන්ට කොචෝක් කළ මැල්කම් රංජිත්ටද ‘ධර්මධර හිමිපාණන් වහන්සේ’ කියා නැමෙන්ට ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ගේ අසරණකම නිසාය. ඇමෙරිකානු තානාපතිනිය විසින් සිය රටට යැවූ විකිලීක්ස් වලින් හෙළි වූ කේබල් පණිවිඩයට අනුව ඔවුන්ද දෙමළ නායකයින්ද සිටින්නේ යුද අපරාධ චෝදනා ගෙන ඒම සඳහා සුදුසු අවස්ථාවක් සොයමිනි. එසේම පොර ටෝක් දීගෙන මහා බ්‍රිතාන්‍යය කරා ගිය රාජපක්ෂ හරවා එවීම තුළින් දෙමළ දියස්පෝරාව පශ්චාත් යුද සමයේ සිය පළමු ජයග්‍රහණය ලබා ගෙන ඇත. මේ වාතාවරණය තුළ සිංහල බෞද්ධ අන්තවාදීන්ට සිදුව ඇත්තේ විටෙක තමන් සතුරන්ය සැලැකූ පිරිසකට නැමෙමින් හෝ වඩා වැඩි ව්‍යසනයෙකින් බේරී සිටීමය. (බේරිය හැකිද නැත්ද යන්න වෙනම කාරණාවකි. අධිකරණයකට ඉදිරිපත් නොකළද, එවකට යූ. ඇන්. පී. ආණ්ඩුවටද රිචඩ් ද සොයිසාගේ මරණයේ වගකීමෙන් නිදහස් වන්ට හැකිවූයේ නොවේ. රණසිංහ ප්‍රේමදාස මිය යනතුරුද, ඉන් පසුවද රිචඩ් ද සොයිසාගේ අවතාරය ඔහු සොයා ආ බව අමතක නොකළ යුතුය.) කාදිනල් මැල්කම් රංජිත්ගේ ප්‍රතිරූපය සීමා රහිතව ප්‍රසාරණය කිරීම ගැනත්, බෞද්ධ විද්‍යාලයකැයි ලොකුවට කෑගැසූ ආනන්ද විද්‍යාලයේ පවා කතෝලික සභාවේ කොඩි දමා ඔහු පිළිගැනීම ගැනත් ජාතික හෙළ උරුමය කෙළ බිඳක් වත් නොහළන්නේද එහෙයිනි. ඒ හැරුණු කල්හි මැල්කම් රංජිත්ට කාදිනල් පදවිය ලැබීම තුළ මෙරට කිතුණු ප්‍රජාව ලබන කෙටි කාලීන සතුටක් මිස පොදුවේ වැදගත්කමක් වෙතිය අප නොසිතමු. මැල්කම් රංජිත් නොව දෙවියන් වහන්සේ ආවත් මෙරට කටයුතු කළ හැක්කේ කුඩා පුද්ගල සංචිතයක තීරණ වලට අනුවය. පොඩි මල්ලීට සම්තිං එක දීමෙන් පසුය. උදාහරණයක් ලෙස සංහිඳියා කොමිසමේ උතුරු නැඟෙනහිර සිංහල කොලනීකරණයට එරෙහිව මැල්කම් රංජිත් කළ ප්‍රකාශ වලට ඉඳුරා පටහැනිව, තමන්ට හිමි යාපනයේ ඉඩම් ගැන කිසිදු විස්තරයක් නොකරන, සමහරවිට තනිකරම තක්කඩියන්ද විය හැකි සිංහල පිරිසක් දැනටමත් රජයේ පාළු ඉඩමක අනවසරයෙන් ‘සිංහල කොලනියක්’ අටවා ගෙන ඇත්තේ ජාතික හෙළ උරුමය නම් අන්තවාදී සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයේ ආශිර්වාදය මතය. (මෙහිදී බලවත්ව ඇත්තේ පොදුවේ සිංහලයා හෝ බෞද්ධයා නොව වර්ගවාදී සුළු පිරිසක් බව සඳහන් කළ යුතුය. බොදුනු මහනායක හිමිවරුන් විසින් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමට ලැබී ඇති ප්‍රතිචාරයද මැල්කම් රංජිත්ගේ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයට සමානය.) මැල්කම් රංජිත්ද මේ බව දන්නවා විය හැකිය. අවස්ථානුරූපව ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු කටයුතු කරන්නේද එහෙයින් විය හැකිය. තව ටික දෙනෙකින් ඔහු ‘නහී වේරෙන වේරාණි’ කියා ධම්මපදය උපුටා දැක්වුවද අප පුදුම විය යුතු නොවේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාය කියන උදවියට ධම්මපදය මතක් කර දෙනවා තරමටම මැල්කම් රංජිත්ට බයිබලය මතක් කර දීමේ අවශ්‍යතාවයක්ද අපි දකිමු. මේ ප්‍රකට බයිබල් පාඨය ඔහුට හුරු පුරුදු වූවක් විය හැකිය.
සීසර් හා දෙවියන් වහන්සේ අතර මේ සමතුලිතතාව ඇති කොට ගත හැකි තාක් කල් මැල්කම් රංජිත් ගොඩය. අනුර සොලමන්ස්ලාගෙන් තියු ගී ඇසිය හැකිය. වික්‍රමබාහුලා සේ ගුවන් තොටුපළේදී ගුටි නොකා, පාක්‍යසෝති සරවනමුත්තුලාසේ රස්තියාදු නොවී ලංකාවට පැමිණිය හැකිය. එහෙත් ඔය සංහිඳියා කොමිසමේදී කළාක් මෙන් දෙවියන් වහන්සේ හා සීසර් පටළවා ගන්ට ගියෝතින් නම් ඔහුට දෙවියන් වහන්සේගෙන්වත් වැඩි පිහිටක් බලාපොරොත්තු වීම උගහට වනු ඇත. මන්ද මේ දෙවියන් වහන්සේගේ නොව සීසර්ලාගේ යුගය බැවිනි. This entry was posted on December 9, 2010 at 3:52 am and is filed under Uncategorized. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site. Be the first to like this post. 20 Responses to “දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic?”
|
Sri Lankan Secularists' Blog of Reason > Taboo > Saving a few lost articles from Taboosubjects blog >