බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි!

බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි! - [තාරක වරාපිටිය]

Posted by BoondiOnLine 6.15.2010


පලාත් සභා මට්ටමින් ගනු ලැබු තීන්දුවක් අනුව දිවයින පුරාම ඉරිදා දිනයන්හි පෙරවරුව සහ පෝය දිනයන්හි උපකාරක පන්ති හෙවත් "ටියුෂන්" පැවැත්වීම තහනම් කොට ඇති බව වාර්තා වෙයි.

ටියුෂන් යනු ව්‍යාපාරික අරමුණු සහිතව වුවත් අධ්‍යාපනික වුවමනාවක්, විභාග සමත් වීමට අවශ්‍ය තරඟකාරි හැකියාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් නියෝජනය කරන්නකි. [නමුත් මෙම තහනම් මහත් උත්කර්ෂයෙන්, ප්‍රධාන පුවත ලෙස වාර්තා කළ පුවත් පත් "ටියුෂන්" යන ව්‍යාපාරික/වාණිජ සංඥාර්ථ මතුකොට දැක්වීමට සැලකිලිමත් වූ අතර, "අමතර උපකාරක පංති" යන හැඟවුම මතු නොකිරීමටද පරෙස්සම් විය] වාණිජ ප්‍රාග්ධනය රටේ ආර්ථිකයේ ප්‍රධාන අක්ෂය බවට පත්ව ඇති (දේශීය හා ගෝලීය) සන්දර්භය තුල - රටේ ආගමික හා සංස්කෘතික උත්සවයන් පවා මෙම වාණිජ ප්‍රාග්ධනයට ගැට ගැසී ඇති බැවින් අධ්‍යාපනය පවා ඊට යටත් වීම යථාර්තයකි.

නමුත් මේ තහනමින් සිදු වී ඇත්තේ ඒ අධ්‍යාපනික අවශ්‍යතාවට සීමාවක් පැනවීම හා ඒ අවශ්‍යතාවය ආවරණය කරගැනීමට වෙනත් විකල්පයක් ඉතිරි නොකිරීමයි.

ආගමික විනයගත කිරිමකට යටත් කිරීමේ මාවතක් ඔස්සේ සමාජය ශික්ෂණය කල හැකිය යන පසුගාමි උපාය මාර්ගයක් වෙත දේශපාලඥයින් හා බලධාරීන් තල්ලු කොට ඇත්තේ මේ වන විට රටේ බලවත්ව ඇති අන්තවාදී ආගමික හා ජාතිකවාදී සංවිධාන විසිනි. පොදු සමාජයේ පරිකල්පනයත් මෙවැනි තීරණ වඩා සතුටින් භාරගන්නා පසුබිමකින් නිර්මාණය වී ඇති නිසා මෙවැනි දේ අරබයා ඵලදායී සංවාදයන් බිහිවන්නේද නැත.

සමාජයක් ශික්ෂණය කල හැක්කේ, යහපත් අධ්‍යාත්මික හා සංස්කෘතික සෞඛ්‍ය සම්පන්න දේහයක් බවට පත් කළ හැක්කේ ආගමෙන්ද නැතහොත් වෙනත් සමාජමය මාවතකින්ද යන්න විමසා බැලීමට අවශ්‍ය තරම් විශ්ලේශ්ණාත්මක මෙවලම් ලෝකය සතුව ඇත; එමෙන්ම අපට එවැනි යම් තක්සේරුවකට, සමාලෝචනයකට පැමිණීමට අවශ්‍ය තරම් අමුද්‍රව්‍යද, අත්දැකීම ද ඉතිහාසය පුරා ඇත.

නමුත් එවැනි විධිමත් හා නිවැරදි තීන්දුවකට හෝ ක්‍රමවේදයකට එළැඹීමේ වුවමනාවක් හා ප්‍රඥාවක් ඇති බවට මෙහි දී ද ප්‍රකට කොට නැති බව පැහැදිලිය.

සමාජයක් යනු සාමූහික සත්තාවකි. ආගම් බොහෝ දුරට ආත්ම මූලිකය. සමාජය තම ඉතිහාසය පුරා අත්පත්කර ගනු ලැබූ දැවැන්ත භෞතික ප්‍රගතියත් [ඊට අඩු] සාරාත්මක [මානුෂීය] ප්‍රගතියක් සඳහා මූලික වූයේ ශ්‍රමය හා සාමුහිකත්වයයි. සමාජය යන ප්‍රපංචයේ ඉදිරිගාමි ගතිකත්වයත්, ආගමික දේවලුත් අතර ඇතු නොපෑහීම අපට මෑත ඉතිහාසයෙන්ම උගත හැකිය. [වඩාත් ආගමික වූ මුස්ලිම් සමාජයන්ට අත් වී ඇති ඉරණම අපට වුවමනාවටත් වඩා පාඩම් උගන්වා ඇත]

මෙම ආගමීකරණය නිසා අත්වෙමින් ඇති විපාකයන්ට තවත් උදාහරණ එකතු කරමින් පකිස්ථානයේ "විකිපීඩියා" අන්තර්ජාල විශ්වකෝෂය හා ෆේස්බුක් අන්තර්ජාල හමුව තහනම් කිරීමටත්, ඉන්දුනීසියාවේ කාන්තාවන්ට දිග කලිසම් ඇඳීම තහනම් කිරීමටත් එම රජයන් තීන්දු කොට ඇත.

අනෙක් අතට මෙලෙස සිදුවන ආගමීකරණයක ප්‍රති ඵලය වන්නේ ආගමික රේඛාවන් ඔස්සේ සමාජය විභේදනයයි, නමුත් විය යුත්තේ සමාජය සාමුහීකරණයයි;සමානුයෝජනයයි.

ඉරිදා දිනය ලමුන්ටත් සිසු සිසුවියන්ටත් ක්‍රීඩා කිරීමට, අතිරේක පොත පත , සාහිත්‍යය, කලාව ඇසුරුකිරීමට, යම් නිර්මාණාත්මක කාර්යයන්හී/ අභ්‍යාසයන්හී නියැලීමට, විනෝද චාරිකාවක් යාමට, පාරිසරික වින්දනයක් [nature trial] ලබා ගැනීමට, ඥාති -මිත්‍රාදීන් සමග, සමාජය සමග සමානුයෝජනය වීමට අවශ්‍ය පෙලඹවීම, අවකාශය ලබා දිය යුතුය යන්න අපගේ යෝජනාවයි. විෂය කරුණු වල අන්තර්ගත සම්බන්ධය වටහා ගැනීමටත්, ලෝකය හා ජීවිතය ඉගෙනුමටත් ඉහත කී බාහිර ක්‍රියාකාරකම් හා අත්දැකීම් ඔස්සේ සිසුන් හට අත්‍යවශ්‍ය කවුළුවක් විවර වේ.

අනෙක් අතට පසුගිය දශකය යනු මෑත කාලීනව ආගම යන්න අපේ රටේ සමාජ පරිකල්පනය තුල වඩාත් අධිනිශ්චයට පාත්‍ර වූ වකවානුවයි; පන්සල් උපාසකම්මලාගෙන්ද, ළමා-තරුණ පරම්පරාවෙන්ද, මධ්‍යම පාන්තිකයින්ගෙන්ද පිරී ගිය වකවානුවයි. සියළු ජනමාධ්‍යවලත්, ආයතන වලත්, සමාජයේ දෛනික ජීවිතය තුලත් ආගමික දේවල් වලට වැඩිම ඉඩක්, වැඩිම කාලයක් වෙන් කර තිබූ වකවානුවයි. එහෙත් ඊට සාපෙක්ෂව ලාංකිකයා විනය ගත වීද? ශික්ෂණ ගත වීද? මානුෂීය හර පද්ධතීන්ගෙන් පෝෂණය වීද? බුද්ධිමත් වීද? නැත.

එනිසා මෙවැනි අත්තනෝමතික හා හානි ගෙනදිය හැකි තීන්දු ගැනීමට පෙර නිසි සමාලෝචනයක්, විග්‍රහයක්, විමර්ෂනයක් කල යුතුය යන්න යලි යලිත් අවධාරණය කල යුතුය.

-ලේකම්
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
2010-06-08

තාරක වරාපිටිය
Comments