Evolution‎ > ‎

වත්මන් මානවයා ජාන සම්මිශ්‍රණයේ ප්‍රතිඵලයක්

http://www.silumina.lk/punkalasa/20100207/_art.asp?fn=ar1002071   

මහාචාර්ය නිමල් පෙරේරා

ඉතිහාසය හාරා අවුස්සන වත්මන් මිනිසා නිරතුරු ව සොයා බලන්නේ අතීත මානවයාගේ ක්‍රියාකාරකම් කෙසේ ද යන්න පිළිබඳ ව ය. හුංගම මිණි ඇතිලියෙන් හමුවූ පරිපූර්ණ මානව ඇටසැකිල්ල ආදි ලාංකික මානවයා පිළිබඳ තොරතුරු නිහඬ ව පවසයි.

වත්මන් මානව විද්‍යාඥයන්ට අනුව අතීත මානවයා ගේ පරිණාමය පිළිබඳ වෙන “අප්‍රිකාවෙන් නික්මීම” සංකල්පය පිළිබඳ මේ වන විට උනන්දුවෙන් කරුණු විමර්ශනය කරමින් සිටී.

අප්‍රිකාවෙන් නික්මුණ අතීත මානවයා ඕස්ට්‍රේලියාව කරා යද්දී ලංකාව ජනාවාස වූ ලංකාවේ ස්වදේශික ජන කොටස වැද්දන් බවත් වත්මන් ශ්‍රී ලාංකික සංස්කෘතික මිනිසා ජාන සම්මිශ්‍රණයෙන් බිහිවූ නවීන මානවයා බවත් පුරාවිද්‍යා ගවේෂණ මඟින් හෙළි කරගැනීමට හැකිවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් පෙරේරා පවසයි.

හුංගම මිණිඇතිලිය ප්‍රදේශයෙන් හමුවූ ඓතිහාසික මානවයාගේ ඇටසැකිල්ල සුවිශේෂී එකක්ද?

එහි විශේෂත්වයක් තියෙනවා. එය මෙතෙක් කලකට ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින්ට හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. එනිසා එය අගයෙන් වැඩියි. මෙය මානව විද්‍යාඥයින්ට ඉතා අගනා දත්ත සපයාවි. ඒ අතරම මානවයාගේ පරිණාමය, ඔවුන්ගේ ඉතිහාසය, ජීවන වෘත්තිය, ජෛව තොරතුරු අතීත මානවයාගේ ආහාර රටාව, ඔවුන්ගේ සංස්කෘතිය, මෙන්ම අභිචාර විධි ආදියත් ඇතුළත් වෙයි.

එහි සංස්කෘතික අගය ගැන විමර්ශනය කරද්දී අතීත මිනිසාගේ අභිචාර විධි පිළිබඳ ඉඟියක් හමුවූ මානව ඇටසැකිල්ලෙන් ලැබෙනවා. මේ ඇටසැකිල්ල මියගිය පුද්ගලයකුගේ. මේ සිරුර මිහිදන් කර ඇත්තේ ඔහු ජීවත්වූ ස්ථානයේ ඉතා නොගැඹුරු වලක.

දෑත් මත හිස පිහිටන සේ දණහිස් හා දෙපා තබා සිරුර මිහිදන් කර ඇති ආකාරයෙන් ද මියගිය තැනැත්තා ගේ හිස උතුරු දිශාවට පිහිටන ආකාරයෙන් ද මිහිදන් කර තැබීමෙන් පෙනී යන්නේ මේ ප්‍රදේශයේ විසූ ජනයා යම් අභිචාර විධි අනුගමනය කළ සංස්කෘතියකට අයත් ජන සමූහයක් බවයි. ඔවුන් මළවුන් ඇදහූ බවද, පුනරුත්පත්තිය විශ්වාස කළ පිරිසක් බවද අනුමාන කරන්න පුළුවන්.

වසර (10000) දස දහසකට පෙර අතීතයේ විසූ මානවයා රළු ආහාර වර්ග භාවිතා කර ඇති බව මේ ඇටසැකිල්ලේ දත් වයසට වඩා ගෙවීයාමෙන් පැහැදිලි වෙනවා. ස්ථාන ගවේෂණයෙන් ඔවුන්ගේ ආහාර රටාව හඳුනාගන්න පුළුවන්. මොවුන් සත්ව මාංශ සහ කරදිය මිරිදිය බෙල්ලන් හා මත්ස්‍යයන් ආහාරයට ගත් පිරිසක්.

මිණි ඇතිලියෙන් හමුවූයේ අපේ පැරණි ම මානවයා ගේ අවශේෂයන් ද?

නැහැ. අපේ පැරණිම මානවයාගේ අවශේෂ අවුරුදු (125000) එක්ලක්ෂ විසිපන්දහසක් බවට කාල නිර්ණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු භූමියේ ඕනෑ ම ස්ථානයකින් ලබා ගත හැකිද?

බැහැ.

ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු ලැබෙන සංලක්ෂ කිහිපයක් තියෙනව. ඒවා ආශ්‍රයෙන් පමණයි තොරතුරු බොහෝමයක් ලබාගත හැකිවන්නේ. ඉන් එක් ප්‍රධාන ස්ථානයක් ලෙස රත්නපුර දියලු පස් නිධිය හඳුන්වන්න පුළුවන්. රත්නපුර පැල්මඩුල්ල දියලු පස් නිධිය හා බොරළු තට්ටුව අතරින් ලංකාවේ වඳවී ගිය සත්වයින් ගේ අවශේෂ හා ගල් ආයුධ හමුවී තිබෙන අතර මේ සත්ව විශේෂ හඳුනාගනු ලැබීය.

එසේ හමුවන සත්ව අවශේෂ හා ගල් ආයුධ කාල නිර්ණය කිරීමෙන් ඒවා මධ්‍ය හෝ අවසන් ප්‍රලයිටෝසීන යුගයට අයත් බව හඳුනා ගෙන ඇත. අදාළ පස් තට්ටුව කැළඹීමට ලක්ව ඇති බැවින් නොසලකා හරිනු ලැබූව ද එය ඉන්දියාවේ නර්මදා සත්ව සංයුතියට අයත් බව තීරණය කර හමාරය.

ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලැබෙන දෙවන සංලක්ෂය ලෙස පහත රට ගල්ලෙන් හැඳින්විය හැකිය. කළුතර පාහියන් ගල, කෑගල්ල අලුලෙන, කිතුල්ගල බෙලිලෙන, රත්නපුර බටදොඹලෙන ආදිය ප්‍රධාන වේ. පහතරට ගල්ලෙන් ආශ්‍රිතව වසර 40000 කට එපිට මානව තොරතුරු ලැබී තිබේ. පහත රට ගල්ලෙන් ආශ්‍රයෙන් ද ආදි කාලීන මානවයාගේ ආහාර රටාව යැපීම් ක්‍රම දේශගුණය ආදී තොරතුරු ලැබී ඇති අතර එය මඟින් අවසන් ප්‍රයින්ටෝසීන සමයේ සිට මධ්‍ය සෙලෝසීන යුගය තෙක් මානව තොරතුරු ලැබී තිබේ.

ඉරණමඩු මාන්කුලම් අවට රතුපස් නිධියෙන් ද ශ්‍රී ලාංකික මානව ශිෂ්ටාචාරයේ අතීත තොරතුරු සොයා ගත හැකිය. ඉරණමඩු රතුපස් නිධිය මාන්කුලම් ඉරණමඩු හා දකුණු ලංකාවේ බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද කලාපයේ ද වයඹ දිග වෙරළ තීරයේ කල්පිටිය එළුවන්කුලම ප්‍රදේශ ආශ්‍රිතව වූ කලා ඔයේ සිට මෝදරගම් ආරු දක්වා පැතිර තිබේ.

ඉරණමඩු රතු පස් නිධියට අයත් බූන්දල, පතිරාජවෙල, වෙලේගංගොඩ, ප්‍රදේශයන්හි ආචාර්ය දැරණියගල 1972 දී කළ කැණීම් වාර්තා අනුව මීට වසර 125000කට එපිට කාලයේදී ජනාවාස වී පැවැති බව සොයා ගෙන තිබේ. කැණීම් කරන ලද ස්ථානයන් ගෙන් මානව අවශේෂ සත්ව අවශේෂ හා ගල් ආයුධ හමුවී ඇත. ජීර්ණ ක්‍රියාවලියට නතුවීම නිසා ඓන්ද්‍රිය පුරාවස්තු හමුවී නැතත් හමුවී ඇති ගල් ආයුධයන්හි හැඩය තාක්ෂණය අනුව එම ජනාවාස මධ්‍ය පුරාතන ශිලා යුගයට අයත් බව තාප සන්දිප්ත ක්‍රමයට (TL+T) කාල නිර්ණය කර ඇත.

1996 දි නාමල් අබේරත්න “සංස්කෘතික ත්‍රිකෝණය” ව්‍යාපෘතිය යටතේ කළ ගවේෂණයේදී මෙම කාල නිර්ණය තහවුරු වී තිබේ.

ඉරණමඩු රතු පස් නිධිය ආශි‍්‍රත භූමියේ වාසය කළ මිනිසුන් ආදී හෝමෝසාපියන්වරු ලෙස ආචාර්යය දැරණියගල හඳුන්වා ඇති අතර මොවුන් දඩයම් ක්‍රම මඟින් ජීවනෝපාය කරගත් පිරිසක් බවද වසර 40,000 කට පෙර ගල්ලෙන්වල විසූ මිනිසුන්ට සමාන ලක්‍ෂණ පැවැති බවද විශ්වාස කරයි.

මිණි ඇතිලියෙන් හමුවූ සම්පූර්ණ මානව ඇටසැලකිල්ල අයත් වෙන්නේ මින් කුමන සන්දර්භයට ද?

එය මේ සියල්ලටම වෙනස් සන්දර්භයකින් හමුවූවක්. බෙලිකටු නිධි ආශි‍්‍රත මානව අවශේෂයන් ලංකාවේදී හමුවෙනවා.

ලංකාවේ බෙලිකටු නිධි දෙවර්ගයක් හඳුනාගෙන තිබේ. ඉන් එක් බෙලිකටු නිධි වර්ගයක් ස්වභාවිකව තැන්පත් වූ ඒවා වන අතර මුහුදු මට්ටමේ ඉහළ පහළ යාම් හේතුකොට ගෙන හොලෝසීන යුගයේදී මේ ස්වභාවික බෙලිකටු නිධි තැන්පත්ව තිබේ.

අනෙක් වර්ගය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තැන්පත් වූ ඒවා වන අතර ඒවායේ කලපු බෙල්ලන්, මුහුදු බෙල්ලන්, ගස් බෙල්ලන් ආදීන්ගෙන් සමන්විතය. අතීත මානවයාගේ පි‍්‍රයතම ආහාරයක් ලෙස බෙල්ලන් හඳුනා ගත හැකි අතර පිරිමි පාර්ශ්වය දඩයමේ ගිය විට කාන්තාවන් හා දරුවන් බෙල්ලන් ආදීන්ගෙන් සමන්විතය. අතීත මානවයාගේ පි‍්‍රයතම ආහාරයක් ලෙස බෙල්ලන් හඳුනා ගත හැකි අතර පිරිමි පාර්ශවය දඩයමේ ගිය විට කාන්තාවන් හා දරුවන් බෙල්ලන් ආහාරයට ගනිමින් ජීවත් වූ බව අනුමාන කළ හැකිය.

ශ්‍රී ලාංකික පුරාවිද්‍යා උරුමයේ වැදගත් කොටසක් ලෙස මෙසේ හමුවන බෙලිකටු නිධි හැඳින්විය හැකිය. මේ බෙලිකටු නිධි ආශි‍්‍රතව වසර 10,000 (දස දහසකට) එපිට මානව අවශේෂ හා ගල් ආයුධ හමුවේ. මිණි ඇතිලියෙ හමුවී ඇති මිනිස් ඇටසැකිල්ල හමුවූයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් බිහිවූ බෙලිකටු නිධියක් තුළිනි.

බෙලිකටු නිධි පිළිබඳ පුරාවිද්‍යා හා භූවිද්‍යා යන දෙඅංශයම එක්ව ගවේෂණ කළ යුතු වුවත් එවැන්නක් තවම සිදුවී නැත. හුංගමදී මානව ඇටසැකිල්ල හමුවූ ස්ථානයද සත්ව ආහාර සඳහා කැණීම් කරන බෙලිකටු නිධියකි.

හුංගම විධිමත් ගවේෂණයකින් බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි ස්ථානයකි. මේ වන විට එතැනින් මොනරකුගේ අස්ථි කොටසක් සහ හීලෑ බල්ලකුගේ අස්ථි කොටසක් හමුවී තිබීම විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය.

මීට අමතර ව කොතනදිවත් මානව ජනාවාස හමුවී නැද්ද?

ඇයි නැත්තේ. අනුරාධපුර කැණීම්වලදි මන්නාරම ආදි ග්‍රාම කැණීම්වලදි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස හමුවී තිබෙනවා.

හුංගමදි මොනරකුගේ අස්ථිකොට හමුවූ බව ඔබ සඳහන් කළා. මොනරා ලංකාවට ආවේණික සතෙක් නොවේ.

ඔව්. පර්සියානුවන් විසින් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන අවධියේදී හෝ මධ්‍ය අවධියේදී ශ්‍රී ලංකාවේ ආදී වාසීන්ට මොනරා හඳුන්වා දී ඇති බව අනුමාන කරන්න පුළුවන්. නමුත්, ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් නැහැ.

ඔබ කියන්නේ ආදිමානවයා සංචාරක ජන කොටසක් බවද?

එහෙම කියන්න පුළුවන්. ලංකාවේ ගල්ලෙන් කෙසේ බිහිවූවාද? ඒවාගේ පස් තැන්පත් වීම වර්ධනයට මිනිස් ක්‍රියාකාරකම් කුමන ආකාරයෙන් බලපෑවාද පිළිබඳ මේ වන විට ලෝකයේ මානව විද්‍යාඥයන් ගේ අවධානය යොමුවී තිබෙනවා. මේ පිළිබඳ ගවේෂණ කරද්දි ලංකාවේ ගල්ලෙන් ආශි‍්‍රත ජනාවාසයන්හි කාල නිර්ණය ආපස්සට යනවා. උදාහරණ ලෙස පාහියන්ගල කාල නිර්ණය 1986 ට අනුව වසර 40,000 නමුත් මේ වසරේ කරන ලද කැණීම්වලදී පැරණි කැණීමට මීටර් 1 යටින් වූ අලුත් පස් තට්ටුවක් හමුවී තිබෙනවා. ඒ අනුව පාහියන් ගල නවීන මානවයා භාවිත කළ දකුණු ආසියාවේ පැරණිම ගල්ලෙන බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

මානව පරිණාමය පිළිබඳ අපි‍්‍රකාවෙන් නික්මීම යන න්‍යායට අනුව මීට වසර 125000 කට පෙර අපි‍්‍රකාවෙන් නික්මී මැදපෙරදිග හරහා යුරෝපයට හා ආසියාවට කොටසක් ද ලෙස ආදි මානවයා සංක්‍රමණය වී තිබේ. මේ න්‍යායට අනුව අපි‍්‍රකාවේ විසූ මානවයා ආසියාවට පිවිස ඇත්තේ මීට වසර 80,000 කට පළමුවයි. මෙසේ ආසියාවට පැමිණි ජන කොටස් ලංකාව හරහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බව ප්‍රකාශ කරන අතර අදාළ සංක්‍රමණයේ ප්‍රධාන සන්ධිස්ථානය ලෙස ලංකාව හඳුනාගෙන ඇත.+

’අපි‍්‍රකාවෙන් නික්මීම’ (out of Africa) නම් විද්‍යාත්මක සංසිද්ධියේදී ජනාවාස වූ රටක් ලෙස ලංකාව සලකයි නම්, ශ්‍රී ලංකාවේ මානව විද්‍යාඥයන් හඳුන්වා දෙන හා ගවේෂණ හා කැණීම් මඟින් කාල නිර්ණය කරමින් තහවුරු කරන “අතීත ලාංකික ස්වදේශික මිනිසා” යන සංකල්පය හා එය ගැටෙන්නේ නැද්ද?

ඔව්. ගැටෙනවා. ඒත් ලංකාව නිජබිම කරගත් අතීත පුරවැසියන් පිරිසක් සිටියාය යන්න පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. බලංගොඩ මානවයා ශ්‍රී ලාංකික වැදි ජනයාට සමීප සමාන ලක්‍ෂණ පෙන්වනවා. ලංකාව නිජබිම කරගත් ස්වදේශීය ජන කොටසක් සිටියා නම් අද ඔවුන් හඳුන්වන්නේ “වැදි ජනතාව“ ලෙසයි.

විජයාගමනය සමඟ වරින්වර විවිධාකාරයෙන් සම්මිශ්‍රණය වීම නිසා ශ්‍රී ලංකාවේ නව සංස්කෘතික මානවයා බිහිවී තිබෙනවා. වර්තමාන සංස්කෘතික මිනිසා බිහිවී ඇත්තේ ජාන සම්මිශ්‍රණයෙන් ඔවුන් වෙනස් වෙන්නේ සංස්කෘතිය භාවිතයෙන් හා භාෂා භාවිතයෙන් පමණයි.

අපේ භාෂාව තමයි වැදගත් අපේ සංස්කෘතිය අනර්ඝයි කියලා හිතුවට ලෝකයේ සිටින්නේ ජාන සම්මිශ්‍රණය වූ ජන කොට්ඨාසයක්. ලෝකයෙ සෑම රටකම එහෙමයි. ලංකාවෙත් එහෙමයි. වන්නි සිංහලයා වැදි ජනයා හා සමීප සබඳතා පවත්වමින් සිටිනවා. වැදි ජනතාවත් මේ වන විට මිශ්‍ර ජන කණ්ඩායමක් බවට පත්වෙමින් සිටිනවා. ජාතියක් ලෙස අපි සම්මිශ්‍රයි.

අපිට ලාංකිකයන් විදිහට ආඩම්බර වෙන්න බැරිද?

පුළුවන්. ලාංකිකයන් විදිහට අපි ආඩම්බර වෙන්න ඕන. ශ්‍රී ලාංකික මානව ශිෂ්ටාචාරය මීට වර්ෂ 125,000 තරම් ඈතට දිව යනවා. එතරම් ඉතිහාසයක් හිමිවීම ආඩම්බරයක්. ඒත් ජාතියක් විදිහට බෙදෙන්න ගියොත් අපිට එච්චර දිගු ඉතිහාසයක් නැහැ.

සංලාපය
ටෙක්ලා පද්මිණී කාරියවසම්

ඡායාරූපය
දුෂ්මන්ත මායාදුන්නේ  

Comments