“ආ මේ අපේ හීරලු ලමයනෙ. කාලෙකින් මේ පැත්තෙ. මම හිතන්නෙ අව්රුදු 3 කින් විතර මේ එන්නෙ නේද ?”
“එහෙයි අපෙ හාමුදුරුවනේ. කැම්පස් යනවනෙ.”
මම ඉතින් හාමුදුරුවන්ට පහුගිය අවුරුදු තුනක ෆ්ලෑෂ් බැක් එක දුන්න. සමන් කොලුවත් ඇවිත් පැත්තකින් ඇන තියාගෙන අහන් ඉන්නව. කතාව මම හිමින් සැරේ අකොන් දිහාට හැරෙව්ව.
“ඔය ඔලුව TV එකට ගහල මදි ලමයො. ඕකුන්ව රටෙන්ම පන්නන්න ඕනෙ.”
“ඒ මොකද හාමුදුරුවනේ ?”
“ඇයි දැක්කෙ නැද්ද අර සින්දුව. ඔය වගේ සක්කිලින්ව ගෙන්නන එකම මදිද ? බුදු හාමුදුරුවන්ගේ පිලිමෙ ඉස්සරහ අර චින්චි මානවිකාවක් නටවන්නෙ. ඕකුන්ට ඔය කලා මදි.”
මගේ හිතට මම කියවපු දේවල් ගලාගෙන එනව. …….
නහී වේරේන වේරානි……. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා……වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ……..යමෙක් කියතකින් තම අත්පා කපා දමද්දී උව ඉවසීම නැතිකර ගත්තොත් ඔහු ධර්මය සැබෑ ලෙස පිලිපදින්නෙක් නොවේ………
අනේ දෙයියනේ මේ මංත්රී හාමුදුරුවෝ කියන එක බුද්ධාගමනම් මම මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නෙ නිඝන්ඨාගම වෙන්න ඇති. අපරාදේ මගේ මහන්සිය.
හාමුදුරුවෝ දිගටම කියවනවා.
“බුදු හාමුදුරුවන්ගේ පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පව්ද හාමුදුරුවනේ ?” සමන් කොලුවටත් ප්රශ්නයක්.
“නැත්නම්. ඒක කොච්චර අගෞරවයක්ද ?”
සමන් කොලුවා හිමින්ම නැගිටල යන්න ගියා. ටික වෙලාවකින් විහාර ගේ පැත්තෙන් බිත්තියක් කඩනවා වගේ සද්දයක් එනව. අපි දුවගෙන ගියා මොකද්ද වෙන්නෙ කියල බලන්න.
හත් ඉලව්වයි. සමන් කොලුව ගල් ඉන්නක් අරගෙන විහාර ගෙයි පිලිම බිඳිනව.
“තොට අමු කැවිලද බූරුවෝ… මොනාද මේ කරන්නෙ ?”
“ඇයි හාමුදුරුවොනෙ කිව්වෙ බුදු හාමුදුරුවෝ ඉස්සරහ ගැඅණු නටන එක පව් කියල”
“ඉතින් ?”
“බලන්න අපෙ හාමුදුරුවනේ මේ මාර දූතිකාවෝ තුන්දෙනා බුදු ගේ ඇතුලෙ මම හිතන්නෙ දැන් අවුරුදු 30 -40 තිස්සෙ නටනව. කොච්චර පව්ද ඒ නිසා මම හිතුව මේක කඩල දාන්න. ”
මම හිමින් සැරේ එලියට බැස්ස ගෙදර එන්න කියල. නායක හාමුදුරුවනේ මම ආපහු එන්නම්. ඔබ වහන්සේගෙ ආදාහනය දවසට.