Buddhism and Sinhala Buddhism

සිංහල බුද්ධාගම, හෙළ බුද්ධාගම සහ 
අප ඇදහිය යුතු බුද්ධාගම


මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග 

ලක්‌දිව දැනට පවතින බුද්ධාගම සිංහල බුද්ධාගමද නැතිනම් හෙළ බුද්ධාගමද? සිංහල බුද්ධාගම හෝ හෙළ බුද්ධාගම යනුවෙන් හැඳින්විය හැකි බුද්ධාගමක්‌ තිබිය හැකිද? සිංහල බුද්ධාගම විය හැක්‌කේ සිංහලයන් විසින් මුල් බුදු දහම සිංහලයන්ට සුදුසු විදියට සාදා ගත් බුදු දහමකි. එසේ නිර්මාණය කරන ලද බුදු දහමක්‌ මේ රටේ ඇතිද? හෙළ බුද්ධාගම විය හැක්‌කේ හෙළයන් විසින් ඔවුන්ට සුදුසු ලෙස නිපදවාගත් බුදු දහමකි. එවැනි බුදුදහමක්‌ මේ රටේ ඇතිද? නැතිනම් ඇත්තේ මහායානයේ සහ හිංදු ආගමේ අබෞද්ධ වූ ලොකෝත්තර සහ පාරභෞතික සංකල්ප මිශ්‍ර වූ ආගමක්‌ නොවේද? මෙය අපගේ සංස්‌කෘතිය යෑයි කියා දිවිහිමියෙන් රැක ගත යුතුද? 

මේ රටට බුදු දහම මහින්ද තෙරුන් විසින් ගෙන එන විට මේ රටේ බුදු දහම යම්කිසි ප්‍රමාණයකට පැවති බවට සාක්‍ෂි ඇත. පඬුවස්‌ දෙව් රජුට ගෙන ආ දේවිය භද්දකච්චායනා කුමරිය බුදුන්ගේ නෑයෙක්‌ බවද ඒ කුමරීය සමග පැමිණි පිරීවර අතර බෞද්ධයන් සිටින්නට ඇති බවද පැවසේ. තවද අනුරාධපුර නගරයේ ජීවත් වූ එක්‌තරා භික්‍ෂුන් පිරිසක්‌ කුමන ආගමකට අයත්දැයි මහාවංශය සඳහන් නොකරයි. මේ භික්‍ෂුන් බෞද්ධ වන්නට ඇති බවට සැක කළ හැක. ඉතාමත්ම වැදගත් සාක්‍ෂියක්‌ වන්නේ මහියංගන චෛත්‍යය මහින්දාගමනයට පෙර සාදා තිබුණු බව මහාවංශය පවසන වගය. මහින්දාගමනයට පෙර තිබූ බුදු දහම භාරතයේ පැවති මුල් බුදුදහමට කිට්‌ටුදැයි සොයා බැලීම අපහසු කාර්යයක්‌ වන්නේ පිළිගත හැකි සාක්‍ෂි නොමැති කම නිසාය. එකල සිටි මිනිසුන්ගේ ඇදහිලි ආගම් වූයේ ජෛනාගම, ආජීවක වැනි ඉන්දියාdවේ පැරණි ආගම් බව මහාවංශය සඳහන් කරයි. මහින්ද තෙරුන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර මෙහි බුදු දහම තිබූ බවට මහාවංශය සදහන් නොකරයි. කෙසේ නමුත් මහින්දාගමනට පෙර බුදු දහමක්‌ තිබුණා නම් එය මුල් බුදුදහමට කිට්‌ටු විය හැකි බවට සැක කළ හැක. කුමක්‌ නිසාද එම බුදු දහම ලක්‌දිවට ගෙන එන්නට ඇත්තේ බුදුරදුන් විසින්ම විය හැකි නිසාය. බුදුරදුන් ලක්‌දිවට වැඩම කළ බවද රටේ ප්‍රභූවරුන් හෝ නායකයන් බුදුන්ට මෙහි වඩින්නට ආරාධනා කළ බවද මහාවංශය සඳහන් කරයි. පසුව ගෙන ආ බුදු දහමට වඩා පෙර පැවති බුදු දහම මුල් බුදු දහමට කිට්‌ටු විය හැකිය. මුල් බුදු දහම වෙනස්‌ වූයේ කාලයත් සමග බැවිනි.

මහින්ද තෙරුන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර ධර්මා අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ක්‍රි. පූ. 259 පමණ තුන්වැනි ධර්ම සංගායනාව පවත්වන ලදී. මොග්ගල්ලීපුත්ත තිස්‌ස හිමියන් එම සංගායනාවේ මුලසුන හෙබවීය. එම සංඝායනාවේ මූලික අරමුණ වූයේ බුදු දහම තුළ එකල තිබූ මිථ්‍යා මත සහ පාරභෞතික සංකල්ප ඉවත් කිරීමය. එම සංඝායනාව අවසානයේ මොග්ගල්ලීපුත්ත තිස්‌ස හිමියන් විසින් කතාවත්ථුප්පකරණය නමැති සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍රයේ අරමුණ වූයේද මිථ්‍යා මත සහ පාරභෞතික සංකල්ප බුදු දහම තුළින් ඉවත් කිරීම විය. ලෝකෝත්තර සංකල්පයද මේ ලෙසින් ඉවත් කරන ලදී. ලෝකෝත්තර සංකල්පය විසින් බුදුරදුන් අමරණීය තත්ත්වයට පත්කර තිබුණේය. එවැනි සංකල්ප බුදු දහමට ඇතුල් වූයේ මහාසාංඝික ගුරුකුලයේ සහ මහායාන බලපෑම් නිසාය. 

මේ නයින් බලන කල මහින්ද තෙරුන් ලක්‌දිවට ගෙන ආවේ මුල් බුදු දහමට බොහෝ සෙයින් කිට්‌ටු වූ දහමක්‌ බව පිළිගත හැක. එහි තුළ පාරභෞතික හෝ ලෝකෝත්තර සංකල්ප නොතිබුණි. එම බුදු දහම ග්‍රන්ථාරූඪ කළේ අළුවිහාරයේදීය. එපමණ කලක්‌ බුදුදහම රැකගෙන ආවේ භික්‌ෂුන් විසින් සූත්‍ර කටපාඩම් කර තම ගෝලයන් ලවා ද එම සූත්‍ර කට පාඩම් කිරීමෙන් සහ සාකච්ඡා කිරීමෙන් පිරිසිදු කරගනිමින්ය. භික්‌ෂුන් කණ්‌ඩායම් වලට බෙදී එක්‌ එක්‌ සූත්‍ර කට පාඩම් කිරීමේ වගකීම භාරගෙන ධර්මයේ පිරිසිදු භාවයත් අවිච්äන්න භාවයත් රැකගත් සේක. මෙම කාර්යය ඉටුකළ භික්‌ෂුන් භාණක නමින් හැඳින්විය. මේ ක්‍රමය බුදුන්ගේ පිරිනිsවන්පෑමට පසුව භාරතයෙන් පටන් ගෙන ලක්‌දිවටද ගෙන ආවේය. භහානක භික්‌ෂුන් අනුරාධපුරයේද වැඩ විසූ බවට සාක්‌ෂි ඇත. එසේ රැකගත් බුදු දහම ග්‍රන්ථාරූඪ කළේ ක්‍රි.පූ. 1 වැනි ශතවර්ෂයේ වට්‌ටගාමිණීඅභය රජුගේ කාලයේ අළුවිහාරයේදීය. මෙසේ සැකසුන ලිත ත්‍රිපිටකය මුල් බුදු දහමට කිට්‌ටු බව අපට පිළිගත හැක. මුල් බුදු දහම තුළ වන්දනාමාන නොතිබුණේය. බුදුන් වන්දනාමාන පිළිගත්තේ නැත. බුදුන්ට වැඳීම සහ ගෞරව කිරීම එකක්‌ නොව දෙකකි. වැඳීම වර්ධනය වන්නේ අන්ධ විශ්වාසය තුළිනි. අන්ධ විශ්වාසය ඇති වන්නේ සාක්‌ෂි නොමැතිව හටගන්නා විශ්වාසයකිනි. මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි එවන් අන්ධ විශ්වාසයක්‌ තිබිය හැකිය. එවන් අන්ධ විශ්වාසයක්‌ හේතු කොටගෙන වැඳුම් පිදුම් වර්ධනය විය හැක. මෙවැනි වැඳුම් පිදුම් කෙරෙහි කෙනෙකු යොමුවන්නේ පිහිටක්‌ බලාපොරොත්තුවෙනි. බුදුන්ට පිහිට විය හැක්‌කේ උන්වහන්සේගේ ධර්මය පැහැදිලි කොට දී යායුතු මාර්ගය පෙන්වා දී තමන්ගේ උත්සාහයෙන් ඒ මාර්ගයේ යන්නට අවවාද කිරීමෙනි. කෙනෙකු ගලවා ගැනීමක්‌ හෝ නිදහස්‌ කරගැනීමක්‌ හෝ දුකින් මුදවා ගැනීමක්‌ හෝ බුදුන් විසින් තවත් කෙනෙකු සඳහා කරන්නේ නැති බව අපි දනිමු. නිවන තමා විසින් ළඟා කරගත යුතු දෙයක්‌ බව බුදුන් පහදා දී ඇත. මේ නිසාය වැඳුම් පිදුම් බුදුන් විසින් බලාපොරොත්තු නොවූයේ. කෙනෙකුට වැඳුම් පිදුම්වලින් ලබාගත හැකි පල ප්‍රයෝජනයක්‌ නොමැති බව බුදුන් පෙන්වා දුන්සේක. 

බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව දුකට පත්වූ කනිෂ්ඨ භික්‌ෂුන් බුදුන්ගේ මතකය පවත්වාගෙන යැම සඳහා පිලිම තනන්නටත් වන්දනා මාන කරන්නටත් උත්සුක විය. ජ්‍යෙෂ්ඨ භික්‌ෂුන් මෙයට විරුද්ධ වූ විට තරුණ භික්‌ෂුන් මහාසාංඝික නමින් ගුරුකුලයක්‌ තනාගෙන වෙන් වූහ. එම භික්‌ෂූන් යුහුසුලු වෙමින් බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නංවාලීය. බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නංවාලීම ඇරඹුණේa මේ ලෙසයි. ක්‍රි.ව. 1 වැනි ශතවර්ෂයේ පමණ මුල් වරට එළි දැක්‌වූ මහායාන යෑයි සැලකිය හැකි ග්‍රන්ථවල ලෝකෝත්තර ලක්‌ෂණ දැකිය හැක. බුදුරදුන් තේරුම් කර ගත හැක්‌කේ තවත් බුදු කෙනෙකුට පමණක්‌ බව, බුදුන් හා රහතන් අතර වෙනසක්‌ ඇති බව, රහතුන් බුද්ධත්වය (නිවන) කරා යමින් සිටින බව, රහතුන් නිවන ළඟා කරගෙන නැති බව, බුදුන් අමරණීය බව, රහතුන් එසේ නොවන බව වැනි ලෝකෝත්තර වූත් පාර භෞතික වූත් දේ එම සූත්‍රවල සඳහන් වී ඇත (බලන්න - සද්ධර්මපුණ්‌ඩරීක සූත්‍රය). මෙම ලක්‌ෂණ මහායානයේ මූලික ධර්මයන් බව වටහා ගත යුතුය. මෙවැනි ලක්‌ෂණ මුලින්ම වර්ධනය වූයේ මුල් බුදු දහමේ නොව මහාසාංඝික ගුරුකුලයෙන් පටන්ගෙන පසුව මහායානය නමින් පහළ වූ ආගමෙහිය.

ක්‍රි.ව. 1 වැනි ශතවර්ෂයේ ආරම්භ වූ මහායානය ටිකෙන් ටික වර්ධනය වූයේ නව සංකල්ප ඇතුලත් කරගනිමිනි. බෝධිසත්ත්ව සංකල්පය ඉන් එකකි. නිවන් මග හැටියට බුදුන් දේශනා කළේ ඤාණ මාර්ගයක්‌වූ ආර්යඅෂ්ඨාංගික මාර්ගය විය. මහායාන භික්‌ෂූන් නිවන ළඟාකර ගැනීමට සුදූසු ලෙස භක්‌ති මාර්ගය ඉදිරිපත් කළෝය. මෙසේ සිදුවුයේ හින්දු ආගමේ පීඩනය නිසා බව කිව හැක. බුද්ධ දේශනාවෙහි භක්‌ති යන වචනය යොදා නැත. යෙදී ඇත්තේ ශ්‍රද්ධාව යන වචනයයි. මේ අලුත් මාර්ගය නිසා බුදු දහමේ නොතිබුනු භක්‌ති සංකල්පය වර්ධනය විය. ඤාණ මාර්ගය වෙනුවට භක්‌ති මාර්ගයද සර්ධාව වෙනුවට භක්‌තියද මහායාන භික්‌ෂුන් විසින් ගොඩනඟන ලදී. මේ භක්‌ති මාර්ගය සහ භක්‌තිය මුල් කරගෙන වන්දනාමාන වැඳුම් පි\qම් වර්ධනය විය. මේ දේවල් සිදු වූයේ මහායානයේ වර්ධනයත් සමග භාරතයේය.

මහායාන දහම ලක්‌දිවට ගෙන ආවේ මහසෙන් රජුගේ කාලයේදීය. මහායානය ලක්‌aදිවට ගෙන ඒම අරමුණු කරගෙන ඒ සඳහාම සූත්‍රයක්‌ ද නිර්මාණය කර තිබුණි. එහි නම වූයේ ලංකාවතර සූත්‍රයය. එම දහම ලක්‌දිවට ගෙන ඒමට කැපවූ මහසෙන් රජුට කුඩා කල ශාස්‌ත්‍ර ඉගැන්වූ සංඝමිත්‍ර නම් භික්‌ෂුවද ලක්‌දිවට පැමිණ මහායානය ව්‍යාප්ත කරන්නට තැත් කළේය.

ඊට පෙර සිදූවූ දේවල්ද වැදගත්ය. වට්‌ටගාමිණීඅභය රජුගේ කාලයේ අභයගිරීය කරවා එය භික්‌ෂුන්ට පූජා කර තිබුණි. මහා විහාරය සහ අභයගිරිය අතර රජුගේ අනුග්‍රහය පිළිබඳව ගැටුම්කාරී තත්ත්වයක්‌ තිබුණි. වෛතුල්‍යවාදීන් නමින් භික්‌ෂූන් පිරීසක්‌ සූත්‍ර පිටකය ඉවත දමා වෛතුල්‍යවාදය නමින් ධර්ම ග්‍රන්ථයක්‌ නිර්මාණය කොට එය නියම බුදු දහම ලෙස ඉදිරීපත් කළේය. රජුන් මේ ගැන සොයා බලා එම භික්‌ෂු කණ්‌ඩායම පිටුවහල් කරන ලදී. රජුගේ දෙවනි පුත් කුමරා මහසෙන් රජකමට පත් වූ පසු ඔහු සමග මිත්‍රව සිටි සංඝමිත්‍ර නම් වූ භික්‌ෂුව යළි ලක්‌දිවට පැමිණ මහායානය පතුරුවන්නට ක්‍රියා කළේය. මේ ලෙසින් අභයගිරි විහාරය මහායානයේ ලක්‌දිව කේන්ද්‍රස්‌ථානය බවට පත්විය. මහා විහාරය ථෙරවාද බුදු දහමේ මූලස්‌ථානය ලෙස පැවතුනි. ක්‍රි.ව. 5 වැනි ශතවර්ෂයේ සිට ක්‍රි.ව. 10 වෙනි ශතවර්ෂය දක්‌වා ලක්‌දිව ප්‍රබල ආගම බවට පත්ව තිබුණේ මහායානය විය. ඉන්දියාවේද ඒ කාල පරිච්ඡේදය තුළ මහායානය දියුණු තත්ත්වයක පැවතුණි. ඉන්දියාවේ මහායානය අභාවයට යන විට ලක්‌දිවද එයම සිදු විය.

ක්‍රි.ව. 5 වැනි ශතවර්ෂයේ බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට වැඩ සූත්‍ර පිටකය සඳහා අටුවා ලිවීම සිදු කළේය. උන්වහන්සේ මේ සත්කාරය කළේ මහා විහාරයේ වැඩ සිටිමිනි. නමුත් උන්වහන්සේ විසින් ලියූ අටුවාවල අන්තර්ගතය යම් තරමකට සිදු කළේ අයහපතකි. එම අටුවා වල ලෝකෝත්තර වූද පාර භෞතික වූද කරණු අඩංගු විය. බුද්ධඝෝෂ හිමියන්ට මහායානයේ අභාසය ලැබෙන්නට ඇතැයි සැක කළ හැක.

ලක්‌දිව පැවති මිහිඳු මහ රහතන් වහන්සේ විසින් රැගෙන ආ මුල් බුදු දහමට කිට්‌ටු වූ ථෙරවාද දහමට 

ලෝකෝත්තර ලක්‌ෂණ සහ පාර භෞතික ගුණාංග මේ ලෙස ඇතුළු වූයේ මහායාන ආගම සහ බුද්ධඝෝෂ හිමියන්ගේ මාර්ගයෙන් බව කිව හැක. 

භාරතයේ මහායානය වර්ධනය වන විට බෝධි සත්ත්ව සංකල්පය බෝධිකාය සංකල්පය ඊට ඇතුලත් වූ බව ඉහත සඳහන් විය. මේ සංකල්ප සමහරක්‌ හින්දු ආගමේ ප්‍රබල පීඩනය නිසා මහායානයට ඇතුල් වූ බව නිසැකය. මහායානයේ බෝධිකාය හින්දු ආගමේ එන බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර දෙවිවරුන්ට සමානය. බුදුන්ට ත්‍රිකායක්‌ නිර්මාණය කර ඒවා හින්දු දෙවියන් තිදෙනාට සමාන කර ඇත්තේ මේ අන්දමටය. බෝධිසත්ත්ව සංකල්පය ලක්‌දිවට රැගෙන ආ පසු උන්වහන්සේලා සමහරක්‌ දෙවිවරුන් බවට පත් කරන ලදී. අවලෝකිතේශ්වර නාථ දෙවියන් බවට ද සමන්තබද්ධ සමන් දෙවියන් බවට ද පත්විය. 

මේ නයින් බලන කල හින්දු ආගමේ ලක්‌ෂණ මහායානය මාර්ගයෙන් බුදුදහමට ඇතුළුවී ඇති බව පැහැදිලි වේ. මෙය සිදු වූයේ ප්‍රධාන වශයෙන් ක්‍රි.ව. 5 වැනි ශ.ව. සිට ක්‍රි.ව. 10 වැනි ශ.ව. දක්‌වා කාල පරීච්ඡේදයේය. ඊට පෙර මේ ලක්‍ෂණ ලකදිව බුදු දහම තුළ තිබුණේ නැත. මහායානය ලක්‌දිවට ගෙන ආවේ මෙහි ජීවත්වූ මිනිසුන්ගේ උවමනාවකට නොවේ. එය බලෙන් මෙන් උපක්‍රමශීලීව මෙහි ගෙන එන ලදී. වෛතුල්‍යවාදය ලෙසින් ලක්‌දිවට හඳුන්වා දෙන්නට කිහිප විටක්‌ තැත් කළ නමුදු රජුන්ගේ මැදිහත්වීම නිසා එම වෑයම සාර්ථක වූයේ නැත. භාරතයේ මහායානය වර්ධනය වූ විට ලක්‌දිවටද එය භාරනොගෙන සිටින්නට බැරිවිය. මෙම මිථ්‍යා දෘෂ්ටිකයන්ට සම්පූර්ණයෙන් යටත් වීමට අකමැති වූ ථෙරවාද භික්‌ෂුන් කරදර හිරිහැර මැද වුවද ආගම රැකගෙන මහා විහාරයේ ජීවත් වූයේය. කෙසේ නමුත් ක්‍රි.ව. 10 වැනි ශ.ව. වන විට මහායානය භාරතයේද ලක්‌දිවද අභාවයට පත්විය. ඊට පසු ථෙරවාදය ලෙස හඳුනාගත් බුදු දහමක්‌ මේ රටේ ව්‍යාප්ත විය. මේ බුදු දහම තුළ මහායාන ලක්‌ෂණ කිහිපයක්‌ම තිබේ. ඉන් ප්‍රධාන වන්නේ යම්තාක්‌ දුරකට බුදුන්ගේ ඓතිහාසික පැවැත්ම විකෘති කොට ලෝaකෝත්තර ගුණාංග එකතු කොට තිබීමය. විශාල බුදුපිළිම නිර්මාණය වන්නේ මේ නිසාය. තවද යම්කිසි ලාභයක්‌ බලාපොරොත්තුවෙන් බුදුන්ට වැඳුම් පිදුම් කරන්නේද මේ නිසාය. බෝධිසත්ත්ව සංකල්පයද යම්තාක්‌ දුරකට විශ්වාස කරන බෞද්ධයන් මේ රටේ සිටිති. නිවන පිළිබඳව මහායාන සංකල්පයක්‌ වන අප්‍රතිස්‌තිත නිර්වාණය මේ රටේ ජනතාව විශ්වාස නොකෙරුවා වූවාට නිර්වාණය ළඟා කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට මහායානය පෙන්වා දී ඇති භක්‌ති මාර්ගය ගැන යම් තරමක පැහැදීමක්‌ ඇති බව පෙනේ. 

ලෝකෝත්තර සංකල්ප බුදු දහමට ඇතුළු වීමෙන් සිදු වූයේ නිර්මල බුදු දහම කිළිටි වීමය. මුල් බුදු දහමේ ලෝකෝත්තර හා පාර භෞතික ලක්‍ෂණ නොමැති වීම එය විශේෂ වූ දහමක්‌ බවට පත් කරන ලදී. මැවුම්කාර දෙවියකු හෝ ඊට සමාන බලවේගයක්‌ බුදු දහමේ තිබුණේ නැත. බුදුන් එවැනි බලවේගයක්‌ නොවූවා පමණක්‌ නොව එවැනි දේ ගැන ඇති විශ්වාසය ද ඉවත දැමූ සේක. 'තම හිසට තම අතය' යන අදහස පෙරදැරි කරගෙන ස්‌වඋත්සාහයෙන් ජීවිතය සාර්ථක කරගැනීමද දුකෙන් මිදීමද කරගන්නා ආකාරය පිළිබඳව මඟ පෙන්වීම සඳහා දේශනා කළ සේක. මිථ්‍යා මත සහ විශ්වාස තුළින් ජීවිතය සාර්ථක කරගැනීමට හෝ දුකින් මිදීම ළඟා කරගත නොහැකි බව බුදුන් පෙන්වා දුන් සේක. 

මේ කරුණු හේතු කොටගෙන දැන් ලක්‌දිව වසන ජනතාව බුදු දහමින් බලාපොරොත්තු වන්නේ යම්කිසි ජීවිත සහනයකි. බුදුන්ට සහ බුදු දහමට ඇතුල් වී ඇති දෙවියන්ට වැඳුම් පිදුම් යාච්ඤා බෝධි පූජා සෙත් කවි පිරීත් පිංකම් වලින් එවැනි සහනයක්‌ බලාපොරොත්තු වෙති. බුදුන්ගේ මුල් බුදු දහම තුල මෙවැනි දේවලට ඉඩක්‌ නොතිබිණි. ඒ වෙන කිසි හේතුවක්‌ නිසා නොව එවැනි දේවලින් සහනයක්‌ ලබාගන්නට බැරී නිසාය. බුදුන් ඒ බව පැහැදිලි කොට ඇත. එම නිසා එවැනි දේ ගැන ඇති විශ්වාසය නොමඟ යැමක්‌ වන්නේය. එවැනි දේ වලට පක්‍ෂව ඒවා තිබිය යුතු බව පවසන අය මිනිසුන් නොමඟ යවති. මේ මිථ්‍යා මත ඇදහිලි බාරහාර අපගේ සංස්‌කෘතියේ අංගෝපාංග නිසා ඒවා ආරක්‌ෂා කරගත යුතු යෑයි පවසන අය සිදු කරන්නේ සංස්‌කෘතියට හානියකි. සංස්‌කෘතියක්‌ තුළ හානිදායක ලක්‌ෂණ තිබේ නම් ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම දැනුම් තේරුම් ඇති අයගේ යුතුකමය. ජනතාව දැනුවත් කිරීම උගතුන්ගේ යුතුකමය.

සිංහල බුදු දහම තුළ මිථ්‍යා මත ඇත්නම් ඒවා ඉවත් කිරීම වරදක්‌ වන්නේ කෙසේද? ඒවා සංස්‌කෘතියේ අංගෝපාංග නිසා කෙතරම් හානිදායක වුවත් ඉවත් නොකළ යුතු යෑයි පැවසීම මෝඩ කියමනක්‌ නොවන්නේද? කෙතරම් හානිදායක වුවත් සංස්‌කෘතිය රැකගත යුතුද? නක්‍ෂත්‍රකාරයන්ගෙන්, ගුරුකම්කාරයන්ගෙන්, යාච්ඥාවලින් හොර වෙදුන්ගෙන් ජනතාව බේරාගත යුතුය. මේවා අපගේ සංස්‌කෘතියට ඇතුළු වූයේ ප්‍රධාන වශයෙන් මහායාන ආගම මාර්ගයෙනි. අප නිර්මල බුදු දහම ඇදහිය යුතුය. ඒ මගින් ජීවිතය සාර්ථක කරගත යුතුය. මහායාන සංකල්ප ඉවත් නොකොට එය කළ නොහැක.

යුරෝපයේ සහ ඇමරිකාවේ මිථ්‍යා ඇදහිලි ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් වන බව පැහැදිලිය. මැවුම්කාර දෙවියන් ගැන ඇති විශ්වාසය අඩු වන බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් වේ. ලෝකයේ සෑම තැනම මෙය සිදුවෙමින් පවතී. උගත්කම දැනුම විද්‍යාව වර්ධනය වන විට මෙය සිදු වන බව පිsළිගත හැක. ඒ නිසාම බුදු දහමේ අගය වැඩි වේ. ශ්‍රී ලංකාවේද අන්ධ භක්‌තිය, මිථ්‍යා ඇදහිලි කෙමෙන් අඩු වන බව පෙනෙන්නට ඇත. උගතුන් කළ යුත්තේ සිංහල බුදු දහම තුළ ඇති මිථ්‍යා මත ඉවත් කිරීමට සහාය වීමය.

Comments